Showing posts with label කුසුමාවතී (ත්‍රාසය භීතිය සැඟවුන ආදර අන්දරය ). Show all posts
Showing posts with label කුසුමාවතී (ත්‍රාසය භීතිය සැඟවුන ආදර අන්දරය ). Show all posts

Monday, May 28, 2012

මැදියම් රැයේ ආ අමුත්තා (කුසුමාවතී - 2 )




පලමු කොටසට.......

එක අතකට කැත්ත අරගත්තු කුසුමාවතී ගැහෙන හදවතින් යුතුව දොර ඇරියා. ඇගෙ හිත තරමක් චංචල වෙලා තිබුනෙ.
දොර බාගෙට ඇරපු කුසුමා යාන්තම් ඔලුව එලියට දාලා වටපිට බැලුවෙ රෑ ජාමෙ දොරට තට්ටු කරන්නෙ මොකාද කියලා බලාගන්න ඕනෙ හින්දමයි.ඇය දැකපු දෙයින් තරමක තිගැස්මකට පත්වුනා.
"මේ රෑ ගෑණියෙක් මොකද අපේ මිදුලෙ කරන්නෙ. එතකොට මුන්දැද දොරට තට්ටු කරේ" කුසුමට එහෙම හිතුනා.
"කවුද........" මේ පාර කුසුමා ටිකක් සද්දෙට ඇහුවෙ හිතේ කොනක තිබුනු බය ඉස්මතුවෙලා ආපු නිසාමයි.
මිදුලෙ කෙලවරක තිබුන අඹ ගහ යට  මොනවදෝ හාර හාර හිටපු ගෑණි කුසුමා දිහා හැරිලා බැලුවා. ඒ හරියට කරුවල වැටිල තිබුන හින්දා ඒ ගෑණිගෙ මූණ කුසුමට පැහැදිලිව පෙනුනෙ නෑ.
මූණ පැහැදිලිව නොපෙනුනත් අඹ ගහ යට හිටපු උන්දැගෙ ඡායාව ටිකක් මැගිලින්ගෙ වගේ කියල කුසුමට හිතුනා.
මැගිලින්ගෙ ගෙවල් තිබුනෙ කුසුමාවතීගෙ ගෙවල්වලට ටිකක් දුරින්. උන්දැගෙ වයස අවුරුදු පනහක් විතර ඇති.
 තැනින් තැන පැහිච්ච කොණ්ඩයක් තිබුණ මැගිලින්ගෙ ඉස්සරහට ආපු දත් ඇන්ද ඈට තරමක විරූපි පෙනුමක් ගෙනාවා. මැගිලින් කුසුමත් එක්ක දෙතුන් වතාවකට වඩා කතා කරලා තිබුනෙ නෑ.
ගමේ මිනිස්සු නම් කියන්නෙ මැගිලින් අමුතු ගෑණියෙක්ලු. නිතරම බුලත් විටක් කටේ දාගෙන හිටපු මැගිලින් කතාකරන වචන පවා තරමක් අපැහැදිලියි කියලා කුසුමට හිතුනා.
මනෝ ලෝකයේ හිටපු කුසුමා එක පාරටම ගැස්සිලා වටපිට බැලුවා. ඒත් ඒ වෙනකොට අඹ ගහ යට හිටපු ගෑණි එතනින් අතුරුදහන් වෙලා.
කුසුමගෙ හිතට තරමක බයක් දැනුනා. ඒත් හිතට දහිරිය ගත්තු කුසුමා ආපහු ගේ ඇතුලට ඇවිත් දඩාස් ගාලා දොර වහගත්තා.
ඒ සද්දෙට කුසුමගෙ අම්මටත් ඇහැරුනා.
"මොකද කෙල්ලෙ මේ මහ රෑ සීරි යකා දැකලා වගේ...." අම්මා එහෙම අහද්දි කුසුමා ඇගේ මූණට නැගිලා තිබුනු දාඩිය පිහිදාගත්තා.
"මුකුත් නෑ අම්මෙ....." කුසුමා එහෙම කිව්වට ඇගේ හිත පොඩ්ඩක් චංචල වෙලයි තිබුනෙ.
" එහෙම නම් කමක් නෑ. කොයිකටත් තුනුරුවන් සිහි කරල නිදාගනිං....." අම්මා එහෙම කිව්වා.
......................................................
පහුවදා එලිවෙන ජාමෙ කුසුමා ඇහැරුනේ කුකුල්ලු අඬලන සද්දෙට. අම්මා තාම නිදි.
මූණ කට හෝදගත්තු කුසුමා කේතලේ ලිපේ තියනකොට අම්මත් ඇහැරලා කුස්සිය ගාවට ආවා.
"කෙල්ලෙ ඊයෙ රෑ මොකද උනේ. මට ඇත්ත කියපං...." අම්මා එහෙම අහද්දි කුසුමා අම්මට ඇත්තම කිව්වා.
" කොයිකටත් අපි යමංකො බලන්ඩ. ඔය ලාම්පු කුප්පිය ගනිංකො...." අම්මා ඉස්සර උනා.
අම්මගෙ පිටිපස්සෙන් කුසුමා අඹ ගහ ලඟට ඇදුනෙ දෙගිඩියාවෙන්. ඊයෙ රෑ දැකපු මූණ ඈට මැවිලා පෙනුනා.
ඊයෙ දැකපු මූණ පැහැදිලි නැති උනත් ඒ මැගිලින්මයි කියලා කුසුමට හිතුනා.
"අපොයි දෙයියනේ........" අම්මගෙ විලාපෙට කුසුමා පියවි සිහියට ආවා.
"ඇයි අම්මා....." කුසුමා එහෙම අහද්දි අම්මා ඈ දිහා ඔරවලා බැලුවා.
"මේ බලාපං......." අම්මා අඹගහ යට තිබුණු යමක් කුසුමට පෙන්නුවා.
ඒ දිහා බලපු ඇගේ ඇසුත් ලොකු උනා.

 ...............මතු සම්බන්ධයි.........

Thursday, May 3, 2012

කුසුමාවතී (ත්‍රාසය භීතිය සැඟවුන ආදර අන්දරය )





කුඹුරෙ වැඩට මහන්සි උන නිසාම කුසුමාවතී වේලාසන නින්දට වැටුනා. ඒත් රෑ දෙගොඩහරියෙ ඇහුන මහා සද්දෙට ඈ උඩ ගිහින් ඇහැරුණා. යටි ගිරියෙන් කෑගහන සද්දෙ ඇහුනෙ කන ලඟ ඉඳන් බෙරිහන්දෙනවා වගේ. ඒ මුස්පේන්තු සද්දෙ කුසුමගෙ හිතේ රැව් පිලිරැව් දුන්නා.
ඒ වෙනකොට කුසුම ලස්සන හීනයක් දැක දැකයි හිටියෙ. එයාගෙ ආදරණීය ප්‍රේමවන්තයා සියදෝරිස් කුසුමට දෙන්න නෙලුම් මල් අහුරක්ම කඩන් එනවා. කුසුමත් සියදෝරිස්ව පිලිගන්න වැව අයිනෙ තිබුණ කුඹුක් ගහ යටට වෙලා බලන් හිටියා.
කුසුමට සියදෝරිස්ව පෙනුනෙ ගාමිණී පොන්සේකා මහත්තයා වගේ. "ෂා.... එදා සිදාදියට ගිහිං බලපු පිචර් එකේ ගාමිණි මහත්තයා හිටිය වගේමයි. හරිම හැඩයි" කුසුමට හිතුනා.
සියදෝරිස් එක අතකින් මල් පොකුරත් අරන් කුසුමගෙ දිහාවට දුවගෙන එන්න පටන් ගත්තා. ගමේ හරක් පස්සෙ දුවන සියදෝරිස් අද තමන් දිහාවට දුවගෙන එන්නෙ අමුතුම රටාවකට කියල කුසුමට හිතුනා.
කොච්චර හයියෙන් දුවගෙන ආවත් සියදෝරිස්ට පොඩ්ඩක්වත් හති තිබුනෙ නෑ. මේ වගෙ හයිය හත්තිය තියෙන ඉලන්දාරියෙක් ලැබිච්ච එක පූරුවෙ කරපු පුන්‍ය කර්මයක් කියල ආයෙමත් කුසුමට හිතුනා.
කුසුමගෙ ඉදිරිපිටට ආපු සියදෝරිස් එක පයක් ඉදිරියට තියල ඇගෙ ඉදිරියෙන් දණ ගැහුවා. සියදෝරිස් මෙහෙම දනගහයි කියල කුසුම කීයටවත් හිතුවෙ නෑ. ඒ හින්ද ඈට ටිකක් ලැජ්ජත් හිතුණා. සියදෝරිස් තමන්ගෙ අතේ තිබුණ මල් පොකුර කුසුමට දෙන්න ඒක කුසුමගෙ ලඟට දික් කරා. කුසුමත් අත දික්කරේ ඒක ගන්න කියල හිතාගෙන.
ඔන්න ඔය වෙලාවෙ තමයි අර මූසල සද්දෙට කුසුමාවතීට ඇහැරුනෙ. ඈට හරිම කේන්තියි. ආයෙ හීනෙ මුල ඉඳන් බලන්න හිතාගත්තු කුසුම ඇඳේ ඇලවුනා. ඒත් ඈට නින්ද ගියෙ නෑ. "එයැයි තාම පැල් රකිනව ඇති" කුසුමට හිතුනා.

"පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.....
 රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද......
 තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ.....
 රන්කඳ තාම පැල් රකිනවද නිදි නැතිද....... "

මේ කාලෙ නිරෝශා විරාජිනීවත් ඉපදිලා හිටියනම් එහෙම කියයි කියල කුසුමට යාන්තමට වගෙ හිතුනා.
ටික වෙලාවකින් කුසුමට ආයෙමත් නින්ද ගියා. නමුත් වැඩිවෙලා යන්න කලින් කවුදෝ මහ හයියෙන් දොරට තඩිබාන සද්දෙට ඈ අවදිවුනා. "කවුද......" ඈ ඇහුවත් ඈට කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.
"කවුද......" කුසුමගෙ ස්වරය ටිකක් බියපත් වුනා. අප්පච්චිත් හේනට ගිහිල්ලා. අම්මත් හොඳටෝම නිදි. උන්දැත් ඉන්නෙ ලෙඩ ගානෙ හින්ද අම්මව ඇහැරවන්න කුසුමට හිතුනෙ නෑ.
දොරට තඩිබාන සද්දෙ ආයෙමත් ඇහෙන්න ගත්තා.
හිතට දහිරිය ගත්තු කුසුමාවතී එක අතකට කැත්තත් අරන් ඩිංගිත්තක් දොර ඇරියා.
එතකොටම......

දෙවන කොටසට...