Sunday, February 27, 2011

හබරල පිත්තා



මේ දවස් වල ටිකක් බිසී හින්දා මුකුත් ලියාගන්නත් බැරිවුනා.මේ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 3ක් විතර ඇති. ඔය කාලෙදි ඉතින් පොඩි එකා දිහා ඇහැ ගහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නම ඕනැනෙ.මටත් එහෙම්මමයි. අපේ ආච්චි පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මම මොනවා හරි ගොන්පාට් එකක් දාගන්නවා.
ඔන්න ඉතින් එදා වෙනදා වගේම අම්මා උදේම වැඩට ගියා. තාත්තා ඒ දවස් වල කඩයක් දාලා තිබ්බෙ.තාත්තගෙ කඩේ තිබුන තැන තමයි දැන් අපේ ගේ හදලා තියෙන්නෙ.
ඒ දවස් වල අපි හිටියේ තාත්තගෙ මහ ගෙදර. ඉතින් එදා තාත්තත් කඩේට ගියා. දැන් ආච්චි මට කතාවක් කිය කියා බත් කවනවා.
බත් කාලා ටික වෙලාවක් ගියාට පස්සෙ මම මගෙ ට්‍රයිසිකලේ අරන් මිදුලෙ පැද පැද හිටියා.
ඔහොම ඉන්නකොට මම දැක්කා මිදුලෙ පැත්තක හබරල ගහක් තියෙනවා.
මාත් ට්‍රයිසිකලේ නවත්තලා හබරල ගහ ලඟට ගියා. හබරල කොලේ මහ විසාලයි නෙ. මම දැකලා තිබ්බා මිනිස්සු වැස්සට හබරල කොල ඉහලගෙන යනවා. ඉතින් මටත් හිතුනා හබරල කොලයක් කඩාගන්න. හබරල අත්තෙන් අල්ලලා ඒක අඹරලා කඩන්න හැදුවා. ම්හු.... කඩාගන්න බෑ. ඉතින් මම පිහියක් හෙව්වා. ඔය කාලෙදි ඉතින් පොඩි එකෙක්ට අහුවෙන්න පිහියක් තියන්නෙ නෑනෙ ඉතින්. ඒක හින්දා මට වෙන විකල්පයක් හොයන්න සිද්දවුනා. මගෙ පුන්චි මොලේට පහල වුනේ එකම එක අදහසයි. ඇයි බොලේ පිහියක් නැති උනාට කට තියෙන්නෙ මාත් ඉතින් හබරල පිත්ත හපලා කඩන්න බැලුවා. වැඩි වෙලාවක් ගියේ නෑ මගෙ කට හොඳටම කහන්න ගත්තෙ නැතෑ. මම කෑගහපු සද්දෙට ගෙදර හිටපු හැමෝම වගේ එතෙන්ට දුවලා ආවා. අන්තිමේදි උනේ එකම එක දෙයයි ඒ මට හබරල පිත්තා කියලා ගෞරව නාමයක් පටබැඳුනු එක විතරයි.

Monday, February 21, 2011

මාලුකාරයෙක් මැච් එකේ



ඊයෙ ලංකාවයි කැනඩාවයි අතරෙ මැච් එක තිබ්බනෙ. අපි මැච් එකේ මුල් ටික බලන්න සෙට් උනේ ටිංටිංලගෙ බෝඩිමට. ඊයෙ නිවාඩු දවස හින්දා කට්ටියම බෝඩිමේ හිටියා. මායි අවිශ්කයයි බෝඩිමට යනකොට බෝඩිමේ පොඩි විවාදයක්.
බැලින්නම් අපේ ටිංටිං හා මදුරුවා.
ටිංටිං කියනවා ටොස් එක ලංකාවට ආවොත් ලංකාව ඉස්සරලා බැට් කරන්න ඕනෙලු. හේතුව එතකොට බැට්මන්ලට වැඩිපුර ලකුණු ගහලා එක්කෙනෙකුට තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.
මදුරුවා කියනවා ටොස් එක දින්නොත් ලංකාව ඉස්සරලා බෝල් කරන්න ඕනෙලු. එතකොට බෝලෙර් කෙනෙක්ට වැඩිපුර විකට් අරන් තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.
මදුරුවා උදාහරණයක් විදිහට ගත්තෙ කෙන්යාවයි නවසිලන්තෙයි අතර තිබ්බ මැච් එක. ඒකෙදි කෙන්යාව ලකුණු 69කට ඕල් අවුට් කරලා නවසිලන්තෙ ඕවර් 7.5 කින්ද කොහෙද ගහලා දින්නනෙ.
ඒ හින්දා නවසිලන්තෙ ශුද්ධ ලකුණු වේගෙ 7.6ක් විතර. ඒක සුපර් එයිට් වටයට යන්න සමහර විට බලපාන්න පුලුවන්නෙ. ලංකාව මේ වටේදි තියෙන ඔක්කොම මැච් ටික දිනුවොත් ප්‍රශ්නයක් නෑ. බැරිවෙලාවත් එකක් හරි පැරදිලා තිබුනොත් කාණ්ඩෙ එකට එන්න ශුද්ධ ලකුණු වේගෙ බලපායි.
ඕක තමයි මදුරුවාගෙ තර්කෙ.
අන්තිමේදි ටොස් එක දිනලා ස්න්ගා බැට් කරන්න තීරණය කලානෙ. ඊට පස්සෙ ටිංටිංගෙන් මදුරුවාට නෝන්ඩි ගොඩයි.
ටිංටිං පුලුවන් තරම් පොර ටෝක් දෙනවා. මදුරුවා සද්ද නෑ.
ටික වෙලාවක් මැච් එක බලබල හිටපු මදුරුවා එක පාරටම හිනාවෙන්න පටන්ගත්තා. දැන් අපටත් හරි පුදුමයි මොකද මේ කියලා. අපි ඇහුවා "මොකද බං තනියෙන් හිනාවෙන්නෙ? "කියලා.
එතකොට මදුරුවා කියනවා "බලපංකො බං, ඉන්දියාවෙ මාලුකාරයෙක්ව අම්පයර් කමට දාලා" කියලා.
 බැලින්නම් කතාව ඇත්ත. මෑන්ට දැල් දැල් බැනියමක් අන්දලා ගත්තනම් නියම මාලුකාරයා.
ඒ ගමන ටිංටිං කියනවා " වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා බං හරි නෑ" කියලා.
ඒ කතාවත් ඇත්ත. මනුස්සයෙක්ගෙ හැඩරුවට එක එක නම් හදන එක හරි නෑ තමා.

Friday, February 18, 2011

පිටිකල පොල්කිරි



මේක මීට සුලු මොහොතකට පෙර සිදුවුන සිද්ධියක්. හෙට ලෝක කුසලානෙ ලංකාව ගහන පලවෙනි මැච් එක ගෙදරට වෙලා බලන්නම් කියලා හිතාගෙන හිටියත් අන්තිම මොහොතෙ ඒ තීරණය අතාරින්න සිද්ධ උනා. ඒක හින්දා අදයි හෙටයි බෝඩිමේම ඉන්න තීරණය කලා.
අවිශ්කයා ලේසියකට ගෙදර යන එකෙක් නෙමෙයිනෙ. ඒක හින්දා ඌ කොහොමත් බෝඩිමේ. පොඩ්ඩක් කැඩිලා තිබුනු ටීවි එකේ ඒරියල් කූරු දෙකටත් පොඩි ජිල්මාට් එකක් දාලා අමුණාගත්තා. දැන් වැඩේ හරි.
අද උදේට උයන්න කම්මැලියි කියලා පාන් කන්න තීරණය කලා. අවිශ්කයා පාන් ගේන්න කියලා කඩේට ගියා. මම පරිප්පු හොද්දක් හදන්න බාරගත්තා.
පරිප්පු ටික ලිපේ තියලා කිරි දාන්න කිරි එකක් හදන්න එපායැ.අපි පොල් ගාලා කිරි මිරිකලා කිරි ගන්නෙ නෑ. මොකද ඒක එපා වෙනවනෙ. අනිත් එක පොලුත් ගනන්නෙ.ඒක හින්දා පිටිකල පොල්කිරි තමයි පාවිච්චි කරන්නෙ.
ඒ උනාට පොල් ගාලා ගන්න කිරි පිටිකල පොල්කිරි වලට වැඩිය රසයි.
වෙනදා වගේම මම පොඩි ජොග්ගුවකට වතුර ටිකක් පුරවගෙන ඇවිත් ඒකට පොල්කිරි පැකට් එක දාන්න ලෑස්ති උනා. ඊයෙ රෑ පාවිච්චි කරපු පොල්කිරි පැකට් එකේ ඉතුරු ටික ශොපින් කවරෙකට දාලා ගැට ගහලා තිබුනෙ. ඒක හින්දා මම වැඩිය හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශොපින් එක ලෙහලා පිටිකල පොල්කිරි ටික ජොග්ගුවට දාන්න කියලා හැදුවා. වෙලාව කියන්නෙ මට වෙලාවට පැකට් එක දිහා බැලුනා. බැලින්නම් පෙරේදා ගෙනාපු නෙස්ප්‍රේ පැකට් එකේ ඉතුරු ටික තමයි ජොග්ගුවට දාන්න ගිහින් තියෙන්නෙ.වැඩි වෙනසක් පේන්නෙත් නෑ දෙකම කහ පාටයිනෙ. ඒක දැම්මනං ඉතිං කාලා හමාරයි. සමහරවිට  පරිප්පු එකට නැවුම් රසයක් එන්නත් බැරි නෑ.    

Tuesday, February 15, 2011

මල්සරා කලින්ම විදලා...



වැලන්ටයින් දවසෙ ලව් කතාවක් ලියන්න කියලා හිතන් හිටියට ඒකට වෙලාවක් හම්බ උනේ නෑ. ඒක හින්දා ඒකටත් එක්ක හරියන්න අද කතාවක් ලියන්න කියලා හිතුවා.
මේ සිද්දිය තමයි මට මතක හැටියට අපේ පන්තියෙ හිටපු එකෙක්ගෙ ප්‍රථම ආදර කතාව. මේ සිද්දිය වෙනකොට මම ඕනෙනම් හතරෙ නැත්නං පහේ පන්තියෙ ඉන්න ඇති.
අපේ පන්තියෙන් බිහිවුනු ප්‍රථම ආදරවන්තයා තමයි අමිලයා. දැන් මිනිහා බැඳලත් අවුරුදු දෙකක් විතර වෙනවා මගෙ හිතේ. මිනිහා කීයටවත් බ්ලොග් එකක් කියවන්නෙ නෑ කියන විස්වාසෙ පිට තමයි මම ඔය පොරගෙ ඇත්ත නමම දැම්මෙ.
ඒකයි අනිත් කතාවල ඉන්න අයගෙ නම් ගම් වෙනස් කරලා තියෙන්නෙ. ඇත්ත ඒවා දැම්මොත් මට ආයෙ බ්ලොග් ලියන්න වෙන්නෙ නෑ.
ඔන්න ඉතිං අපේ අමිලයට හිත ගිය ගෑණු ලමයා තමයි පන්තියෙ දෙවනියා වුනු දිල්රුක්ෂි කියලා දැරිවියක්.
මේ වයසෙ කොල්ලන්ට මොන ලව්ද? සමහරවිට ඒ කාලෙ අමිලයගෙ කක්කා හෝදන්නෙත් අම්මා වෙන්න ඇති.
මේ දැරිවි හරි හැඩයි. ඒ හින්දා පස්සෙ කාලෙදි මෙයා සම්බන්ධ තවත් කතා කියන්න තියෙනවා ඒවා හෙමිහිට කියන්නම්කො.
ඔන්න අමිලයගෙ කුලුඳුල් ආදරේ උගෙ හිතේ ඇතිවෙලා. අපේ අතටම මාට්ටු. දවසක් පොර වෙසක් කාඩ් තොගයක්ම ගෙනත් අපට හොරෙන් ඒවගෙ ලියනවා. අපටත් ඉතින් ඕනෙ නැති මගුලක් නෑනෙ. අපිත් හෙන ගේමක් දීලා එකක් ඉස්සුවා. ඒකෙ තිබුනෙ මෙහෙමයි.
ආදර්නීය අම්ල විසින්
මගෙ දිල්රුස්සි වෙත
අපේ පන්තියෙ හිටපු කොල්ලන්ට කෙල්ලන්ටත් ඒකාලෙ ඕවා මැජික්නෙ. මොකෙක් හරි අසමජ්ජාතියෙක් අර වෙසක් කාඩ් එක දිල් රුක්ෂිට ගිහින් දීලා.ඒකිට ඒක කියෙව්වා විතරයි මෙලෝ සිහියක් නැතුව අඬාගෙන ගියෙ නැද්ද පන්ති බාර ටීච ගාවට. වෙලාවට ඒ කාලෙ හිටපු ටීච හොඳයි. ඒ හින්දා අමිලයා වේවැල් පාරවල් දෙක තුනක් කාලා බේරුණා.
ඉන්ටවල් එකෙන් පස්සෙ අපි පන්තියට එද්දි මෙන්න බොලේ ඉරපු වෙසක් කාඩ් තොගයක්ම කුණු කූඩෙ තියෙනවා.



Friday, February 11, 2011

බල්ලා පතලේ



ඔන්න එක දවසක මම නිවාඩුවට ගෙදර ඇවිත් හිටියා.
"කිරිපුතා....... කිරිපුතා..........."
කවුදෝ කතා කරනවා. මම එතකොට දවල්ට බත් කකා හිටියෙ. මම බත් එකත් පැත්තකින් තියලා එලියට ඇවිත් බැලුවා.
බැලින්නම් චූටි බාප්පා.
"චූටි බාප්පෙ, මොකෝ මේ....?" මම ඇහුවා.
"පොඩ්ඩක් එනවකො උඩහට. වත්ත උඩහ පතලට බල්ලෙක් වැටිලා. මම ගොඩ ගන්න බැලුවා. තනියෙන් ගන්න අමාරුයි. ඒකයි මේ කිරිපුතාට කතාකලේ."
මාත් ඉතින් බත් එක වහලා තියලා අත හෙම හෝදගෙන වත්ත උඩහට ගියා.
මං යනකොටත් චූටි බාප්පා මද්දක් එහෙම ගහගෙන බල්ලව ගොඩ ගන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා.
අපේ චූටි බාප්පා මදු ගැහීමේ විශේෂඥයෙක්. මදු ගහපු සිද්දි ගැන කතා ටිකකුත් තියෙනවා. ඒවා මම ටික ටික එලියට දාන්නම්කො.
බල්ලා හොඳටම බයවෙලා. පතලේ මුල්ලකට වෙලා ඉන්නවා. ඌට පතල ඇතුලෙ මැරෙන්න දෙන්නයැ. අපි පැයක් විතර ඌව ගොඩ ගන්න ට්‍රයි කලා.
බැරිම තැන චූටි බාප්පට හොඳ නුවණක් පහලවුනා. චූටි බාප්පා බුරුලට මද්දක් ගහලා පතල ඇතුලට දැම්මා. මට දිග ලීයක් දාලා මද්දෙ පැත්තක් ඒකට හෙමිහිට අමුණාගන්න කිව්වා. ඊට පස්සෙ හෙමිහිට මද්ද බල්ලගෙ බෙල්ලට දාගත්තා.බල්ලගෙ කකුල් දෙක ඌ මද්දෙන් ඉස්සරහට දාගත්තා.දැන් මද්ද බල්ලගෙ බඩ මැද. බල්ලා දඟලනකොට මද්ද හිරවෙනවනෙ. දැන් මද්ද හොඳටම හිරවෙලා. ඊට පස්සෙ  දෙන්නත් එක්ක එකතුවෙලා  බල්ලව පතලෙන් උඩට ඇදලා ගත්තා.
චූටි බාප්පා මද්ද ගහලා තිබ්බ ලණුවෙ ඉතුරු කොණ ගහක ගැට ගැහුවා. ඊට පස්සෙ මද්ද කපලා දැම්මා.
ඊට පස්සෙ බල්ලා දීවෙ කැලෙ කඩාගෙන.

Tuesday, February 8, 2011

ටිංටිංගේ කුලුඳුල් ප්‍රේමය - ලත් තැනම ලොප්


අපේ ටිංටිං කිරිතේ හදද්දි පොඩි පොඩි ලෙඩ දාගන්නවා තමයි. ඒ උනාට මිනිහ හෙන හැන්ඩියා. හරියට හින්දි නලුවෙක් වගේ. ගෑනු ලමයිගෙන් හෙම නිතරම මිනිහට බැල්ම වැටෙනවා. ඒ උනාට මෑන් එහෙම ලේසියකට කෙල්ලෙක්ට කැමති වෙන ජාතියේ පොරක් නෙවේ.
මේ සිද්දිය වෙනකොට අපි කැම්පස් එකේ එක වසරෙ විතර ඉන්න ඇති. ඒ වෙනකොට එක එකාට හිතේ ඇඳුණු කුමාරිකාවො හිටියා. තවත් සමහරු ඒ හීන හැබෑ කරගෙන තිබ්බා.අපේ සෙට් එකෙත් සුලුතරයක් විතරයි තමන්ගෙ ප්‍රියම්බිකාවන්ව හොයාගෙන හිටියෙ. තවත් ටික දෙනෙක් තමන්ගෙ ඉරනම්කාරි හොයාගන්න සෑහෙන උත්සාහයක් දැරුවා.
ඒත් අපේ සෙට් එකේ ඒ වර්ග දෙකටම අදාල නැති පුද්ගලයෙක් හිටියා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ කතානායක ටිංටිං.
ඌ කෙල්ලෙක්ට ට්‍රයි කරන්නෙත් නෑ.අපි ඌට කෙල්ලෙක් පෙන්නුවොත් ඌ ඒ කෙල්ලගෙ මොනවහරි අඩුපාඩුවක් කියනවා.අන්තිමේදි අපි උත්සාහය අත් ඇරියා. ඌට ඕන දෙයක් කරගනිං කියලා අපි පාඩුවේ හිටියා.
අපි පුල පුලා බලාසිටි ඒ මොහොත  එක දවසක් කැන්ටින් එකකදි උදාවුනා. අපි හැමෝගෙම ආශිර්වාද මැද ටිංටිං තමන්ගෙ ප්‍රථම ප්‍රේමයට අත්තිවාරම දාන්න පටන්ගත්තා.
කෙල්ල තනියම අපි වාඩිවෙලා හිටපු ටේබල් එකට ටේබල් කිහිපයක් එහා පැත්තෙ තමයි වාඩිවෙලා හිටියෙ. ටිංටිං හැන්ඩියා හින්දා කෙල්ලගෙ බැල්ම නිරායාසයෙන්ම ටිංටිං වෙත යොමුවුනා.
දැන් සීයට පනහක් සාර්ථකයි. ඒ කියන්නෙ ටිංටිං කෙල්ලට බොක්කෙන්ම ලව්. තව සීයට පනහයිනෙ තියෙන්නෙ. ඒ සීයට පනහෙනුත් එක එක වැඩි වෙන්න පටන් ගත්තා. "කෙල්ලත් සීදේවි පාටයි, ටිංටිංට නියමෙට ගැලපෙනවා" ඒ විදිහට ටිංටිංට වචනෙකින් හරි සහයෝගෙ දක්වන්න අපි කවුරුත් අමතක කලේ නෑ.
ඒත් දෛවය කියන්නෙ හරිම වෙනස් දෙයක්. ටිංටිං තමන්ගෙ හද පත්ලෙන්ම ඇතිවුනු කුලුඳුල් ආදරේ ඒ දැරිවිට ප්‍රකාශ කරගන්න කියලා හිතාගෙන නැගිට්ටා විතරයි. අටේ හයේ නරුමයෙක් අයිස් ක්‍රීම් දෙකකුත් අරන් ඇවිත් අර කෙලි පොඩිත්ත ගාවින් වාඩිවුණා.
අහිංසක ටිංටිංගෙ දෑසට කඳුලක් නැගුණා.
"ඔයිට වඩා හොඳ කෑල්ලක් මට සෙට් වෙනවා බං. ඒකයි ඔහොම උනේ." ටිංටිං බිමට බරවූ දෑසින් යුක්තව අපිත් එක්ක එහෙම කිව්වා.
අපටත් කියන්න දෙයක් ඉතිරිවෙලා තිබුනෙ නෑ.



Sunday, February 6, 2011

බබා බයවෙලා....


මේ සිද්දිය වෙලා තියෙන්නෙ මගෙ වෙන්ඩ හාමිනේ ඒ කියන්නෙ කිරිදුවට. ඔන්න දවසක් කිරිදුවයි එයාගේ අක්කගෙ බබයි  තව අක්කා කෙනෙකුයි. ගමනක් ගිහිල්ලා. අක්කගේ බබා මේ අවුරුද්දෙ මොන්ටිසෝරියට බාරදුන්නෙ.
මේ කට්ටිය එන ගමනෙදි කිරිදුව බබාට බිස්කට් පැකට් එකක් අරන් දුන්නලු. දැන් කිරිදුව බබාවත් වඩාගෙන එනකොට පාර අයිනෙ ගහක වඳුරෙක් ඉන්නවා දැක්කලු.
"පුංචි, වඳුරා මගෙ බිස්කට් එක කයිද?" කියලා බබා කිරිදුවගෙන් ඇහුවලු.
ඒ වෙනකොට බබා බිස්කට් දෙකක් එක අතක තියාගෙන තව බිස්කට් එකක් කකා තමයි ඇවිත් තියෙන්නෙ.
අර වඳුරා හෙමින් හෙමින් බිස්කට් එක ගන්න කිට්ටු වෙනවලු. ඒ හින්දා කිරිදුව ඒ වඳුරව එලවන්න හැදුවලු. 
මෙන්න බොලේ එතකොට බබා හයියෙන් කෑගගහ අඬන්න ගත්තලු. බැලින්නම් වෙන වඳුරෙක් ඇවිත් බබාගෙ එක අතකින් අල්ලගෙන අනිත් අතින් අර බිස්කට් දෙක උදුරනවලු. 
කිරිදුවත් බයවෙලා කෑගැහුවලු. ටික වෙලාවක් යනකොට දෙන්නගෙම වටේ වඳුරු රංචුවක් ඇවිත් පිරුනලු.
දැන් අර අක්කත් බය වෙලාලු.
අන්තිමේදි අර බබාගෙ අතේ තිබිච්ච බිස්කට් දෙක වඳුරන්ට දාලා ඒ දෙන්නා දුවගෙන ආවලු.
බබා ඉන්න තැන ඔය සිද්දිය වෙන කාට හරි කිව්වත් ඇති බබා අඬන්න ගන්නවා.
අක්කලාගෙ ත්‍රීවිල් එක ගෙනිහිල්ලා වඳුරව යට කරලා දාන්න කිය කියා බබා අඬන්නෙ.



Thursday, February 3, 2011

ටිංටිං නම් කිරි තේ - කිරි තේ නම් ටිංටිං


මේක මේ ලඟදි සිද්දවෙච්ච වැඩක්. අපිත් එක්ක කිව්වෙ කොරියා.
ඔන්න එදා කොරියලාගෙ බෝඩිමේ සෙට් එක කාලෙකට පස්සෙ කිරිපිටි පැකට් එකක් බෝඩිමට අරන් ආවලු.සෑහෙන කාලෙකින් කිරි එකක් හදාගෙන බොන්න යන හින්දා කට්ටියටම හදිස්සිලු.
ඔන්න ඉතිං කට්ටියම ටිංටිංට කිව්වලු කිරි එක හදන්න කියලා. ටිං ටිං කිරි එක හදනකන් අනිත් එවුන් ටික ටීවි බලබලා හිටියලු.
ටීවි එක බලන අතරෙම එකෙක් ටිංටිංට කිරි එකට කහට ටිකකුත් දාලා කිරිතේ එකක්ම හදමු කියලා යෝජනාවකුත් දැම්මලු.
ටික වෙලාවක් ගියාට පස්සෙ ටිංටිං කිරිතේ එක හදලා ඉවරයි කියලා සංඥාවක් නිකුත් කලාලු.
දැන් එක එකා කිරිතේ බොන්න යනවලු. ඉස්සරලම ගියපු එකා කිරිතේ එක හදලා තිබ්බ ලොකු කෝප්පෙ දිහා බලලා හිනා උනාලු. ඊට පස්සෙ ඒකට එබිකම් කරපු අනිත් එවුනුත් හිනාවෙනවලු.
දැන් ටිංටිංට මලලු. "මොකද උඹලා හිනාවෙන්නෙ?" කියලා ටිංටිං අනිත් උන්ගෙන් ඇහුවලු.
"හිනා යන්නෙ නැද්ද බං උඹ මේ කරල තියෙන වැඩේට" කියලා කොරියා කිව්වලු.
බැලින්නම් ටිංටිං කිරි එකට තේ කොල දාලලු.
අනිත් එවුන් හිනාවෙන එක නවත්තන්නෙත් නැතිලු.
ටිංටිනුත් තමන්ගෙ වැරැද්දක් පිලිගන්න කැමති නැති එකෙක්නෙ.
" උඹලට කිරිතේ හදල දෙන්නත් ඕනෙ. තව කතා අහගන්නත් ඕනෙ" කියපු ටිංටිං පුස් මූණ දාගෙන කාමරේට ගියාලු.
අනිත් එවුන් ටික හිනාවෙවී කිරිතේ පෙරාගෙන බිව්වලු.
පස්සෙ කොරියා ටිංටිංගෙ කාමරේට ගිහින් ඌට කිරිතේ බොන්න ආරාධනා කලාලු.
"මට ඕනනම් මම බොන්නම්" කියලා ටිංටිං කොරියගෙ ඇඟට කඩා පැන්නලු.

Tuesday, February 1, 2011

ලොකු බණ්ඩා අංකල් කොහෙදෝ සබන් කෑල්ලක් දාගෙන

                                        
අපේ අම්මා වැඩ කරන ඔෆිස් එකේ ලොකු බණ්ඩා කියලා අංකල් කෙනෙක් ඉන්නවා. මේ අංකල්ගෙ නෝනත් වැඩ කරන්නෙ ඒ ඔෆිස් එකේම තමයි. මේ ලොකු බණ්ඩා අංකල් දැන් පැන්ෂන් යන වයසත් කිට්ටු කරලා ඉන්නෙ.
ඒ උනාට අංකල් අත්සන ගහන්නෙම "ලොකුබල්ලා" කියලලු. කොච්චර කට්ටිය පැහැදිලි කරලා කිව්වත් ලොකු බණ්ඩා අංකල් ඒක වම් කනෙන් අහලා දකුනු කනෙන් පිට කරලා දානවලු.
ඔන්න දවසක් ලොකු බණ්ඩා අංකල් රෑ වෙලා ටොයිලට් එකට ගියාලු.ගියා ගියාමලු එන පාටක් නැතිලු. 
බැරිම තැන ඇන්ටි දොර ලඟට ගිහින් "මොකද මනුස්සයෝ ඔච්චර වෙලා ඕක ඇතුලෙ කරන්නෙ?" කියලා ඇහුවලු.
"මගෙ බඩ වේලිලා" කියලා ලොකු බණ්ඩා අංකලුත් ඇතුලෙ ඉඳන් උත්තර දුන්නලු.
"හා, පොඩ්ඩක් ඉන්නවකො" කියලා ඇන්ටි සබන් කෑල්ලක් අරගෙන ආවලු.
"මෙන්න මේක දාගන්නකො. එතකොට හරියයි" කියලා ඇන්ටි සබන් කෑල්ල දොර යටින් දුන්නලු.
දීලා පැය බාගයක් විතර ගියාලු. තාම ලොකු බණ්ඩා අංකල් එන පාටක් නැතිලු.
ආයෙ පාරක් ඇන්ටි දොර ලඟට ඇවිත් "තාම හරිගියෙ නැද්ද?" කියලා ඇහුවලු.
"නෑ" කියලා අංකල් තරහෙන් වගේ කිව්වලු.
"ඇයි සබන් කෑල්ල දැම්මෙ නැද්ද?" කියලා ඇන්ටි ඇහුවලු.
"දැම්මා, දැම්මා" කියලා අංකල් තරහින් කෑගහනවලු.
"කොහෙටද?" කියලා ඇන්ටි ආයෙ පාරක් ඇහුවලු.
ලොකු බණ්ඩා අංකලුත් "කක්කුස්සි වලට" කියලා තරහෙන්ම උත්තර දුන්නලු.