Showing posts with label ජාතක කතා. Show all posts
Showing posts with label ජාතක කතා. Show all posts

Friday, April 6, 2012

අපණ්ණක ජාතකය විරිදුවෙන්




අද පෝය හින්ද ජාතක කතාවක් විරිදුවෙන් ඉදිරිපත් කරන්න හිතුවා. මේ තමයි පන්සිය පනස් ජාතක පොතේ පලවෙනි ජාතකය. කතාව කියෙව්වෙ සහ පින්තූරය ගත්තෙ මෙතනින්.

ජේතවනේ විහාරයේ බුදු හිමියන් වැඩ වෙසෙතී
අනාථ පින්ඩික සිටුගේ මිතුරන් විත් බණ අසතී

සිටුවරයානන් සිටියත් බුදු හිමියන් සරණ ගොසින්
ඔහුගේ මිතුරන් සිටියේ තීර්ථකයො සරණ ගොසින්

ගෞතම බුදු හිමියන්ගේ සිරි සදහම් දෙසුම අසා
සිටු මිතුරන් සැනසෙනවා බුදු හිමිගේ සරණ නිසා

එතැන් පටන් සියලුදෙනා බුදු හිමිගෙන් බණ අසතී
ඉක්බිත්තෙන් බුදු හිමියන් රජගහ නුවරට වඩිතී

ඉන්පසු කල් ගතවන විට සිටු මිතුරන් වෙනස් වුනා
යලිත් වරක් තීර්ථකයො සරණට සැමදෙන යෙදුනා

අට මසකට පසු නැවතත් බුදු හිමියන් ජේතවනේ
සිටුතුමාගෙ ඉල්ලීමට මිතුරන් යලි එහි පැමිනේ

සිටුවරයා ඒ පිලිබඳ බුදු හිමිහට දැන්වූවා
බුදු හිමියන් මිතුරන්ගෙන් ඒ දේ ගැන විමසූවා

පෙර ආත්ම භවයකදී මෙවැනි දෙයක් සිදුවූවා
යක්ෂයෙකුට හසුව ඔවුන් අකාලයේ දිවි පිදුවා

........................................................
බරණැස් පුර බ්‍රහ්මදත්ත රජුගේ පාලන සමයේ
බෝධිසත්වයන් නායක වෙලඳෙකු වීලයි සිටියේ

ගැල් පන්සීයක් සමගින් බෝසත් වෙලඳාම කලේ
අනුවණ තව නායකයෙක් ඔහු සමගින් තරග කලේ

බෝසත් වෙලඳා ගැල් සමගින් වෙලඳාමේ යනවා
අනෙක් කෙනත් ඒ පාරෙම වෙලඳාමට පිට වෙනවා

දෙදෙනා එක්වරම ගියොත් වෙලඳාමත් අඩුවනවා
මුලින් යන්නෙ කවුරුන්දැයි බෝසත්තෙම විමසනවා

මුලින් ගියෝතින් සැමදා වෙලඳාමට ජයවෙනවා
එහෙම සිතා අනෙක් වෙලඳ මුලින් යන්න සැරසෙනවා

කැඩුනු පාරවල් සකසා ජලය ගන්න තැන් සකසා
පලමුව යන වෙලෙන්දන්ට වෙහෙස වන්න තියෙන නිසා

දෙවනුව යන වෙලෙන්දන්ට ලැබෙන වාසි ගැන සිතලා
බෝසත් වෙලඳා දෙවනුව වෙලඳාමට සැරසීලා

අනුවණ වෙලඳා මුලින්ම වෙලඳාමට පිටවනවා
කාන්තාර භූමියකට ඒ සැම දෙන පිවිසෙනවා

කාන්තාරයේ සිටිනා මිනිසුන් කන්නට සිතලා
නායක වෙස් ගෙන එතනට යක්ෂයෙකුත් පිවිසීලා

අනුවණ මිනිසුන් රවටා ඔවුනගෙ දිය කල බිඳවා
යක්ෂ තෙමේ අනුවණයන් හොඳහැටි දුර්වල කරවා

රාත්‍රියේ ඔවුන් වෙතට යක් පිරිසක් පැමිණෙනවා
දුර්වලවූ මිනිසුන්ගේ මස් කාලා සැනසෙනවා

අනුවණ නායකයාගේ තීන්දු තීරන හින්දා
සියලු දෙනා යක්ෂයන්ට අසුවී ජීවිත බින්දා

මසකට පසු බෝසතුන්ද ඒ මගෙහිම පිටවනවා
ගැල් බඩු සහ අස්ථි දැකල ඔහුට කරුණ වැටහෙනවා

මගෙන් නොම අසා කිසිවිට එපා මෙහිදි වැඩ කරන්න
සගයන්හට බෝධිසතුන් දෙයි උපදෙස් පිලිපදින්න

පෙර ලෙසටම ඔහුගෙ මගට යක්ෂ තෙමේ පැමිණෙනවා
ඔහුගේ කටයුතු පිලිබඳ බෝසත් හට වැටහෙනවා

යක්ෂයාගෙ කපටි බසට සගයිනි රැවටෙන්න එපා
ජලය පරිස්සම් කරගෙන දිවි රැකගමු එඩිය පපා

යකුගෙන් මිදිලා පැමිණුන වෙලඳන් හට ජය වූවා
වෙලඳාමෙන් ජය අරගෙන නැවතත් බරණැස් ආවා
.........................................................

මේ ලෙස සිටු මිතුරන්හට බුදු හිමියන් දම් දෙසුවා
එය ඇසුමෙන් ඒ සැමදෙන සෝවන් ඵල අත් දුටුවා

මේ ලෙස  මට හැකි අයුරින් මම ඔබ හට මෙය කීවා
කියවූ ඔබ සැම දෙනාට තෙරුවන් සරණම වේවා

වරදක් ඇතිවීලා නම් කරුණාකර සමාවෙන්න
එය පෙන්වා දුන්නෝතින් මට පුලුවනි හදාගන්න