Thursday, March 1, 2012

බොඳවීගිය රැකියා සිහිනය..........



පෙරවරු පහට වැදුණු එලාම් නාදය මගේ සිත වඩාත් ප්‍රබෝධමත් කරන්නට සමත්විය. රාත්‍රිය ගෙවී ගියේ මට නොදැනුවත්වමය. පෙරදින එල්ලවූ මදුරු ප්‍රහාර වලට පවා නොසැලී හිඳිමින් රැය ගතකලේ පසුදින ජීවිතයේ නව බලාපොරොත්තුවක් පුබුදින නිසාය.
උදෑසනින්ම නාගත් මම වේලාසනින්ම නව රැකියාව කරන ස්ථානයට වාර්තා කලෙමි. පැය බාගයක් පමණ කාලය කාදැමීමෙන් පසුව එකා දෙන්නා ආයතනයට පැමිණෙන බව දුටුවෙමි.
"ආ ඔයාද අලුත් පෝස්ට් එකට ආවෙ?"
"මල්ලිගෙ ගම කොහෙද?"
"අපි ඒපැත්තෙ මලගෙදරක ගිහින් තියෙනවා"
මෙවැනි අල්ලාප සල්ලාප වලින් පසුව ආයතනයේ සගයන් හඳුනාගන්නටත් ඉක්මනින්ම ඔවුන් හා හිතවත් වන්නටත් හැකියාව ලැබිණි.
"තව ටිකකින් සර් එයි. ඇවිත් ඔයාට කතාකරයි"
පැය කිහිපයකට පසුව ආයතන ප්‍රධානියා බැරෑරුම් මුහුණකින් යුක්තව පැමිණියේය.
ඔහුගේ කැඳවීම ලැබෙන තෙක් මා බලා සිටියෙමි.
අවසානයේ මා බලාසිටි මොහොත එලඹුනි.
"මේකයි ඇත්තටම කියන්න තියෙන්නෙ, මේ පෝස්ට් එකට ඔයාගෙ කොලිෆිකේශන් වැඩියි. අපි බලාපොරොත්තුවුනේ නෑ ඔයා එයි කියල"
"සර් මට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒක හින්ද ජොබ් එකක් නැතුව ගෙදර ඉන්න බෑ සර්"
"මෙහෙමයි ඔයා උපාධියක් තියෙන කෙනෙක්. මේ පෝස්ට් එකට අපි උපාධිධාරියෙක්ව බලාපොරොත්තු උනේ නෑ. මේ පෝස්ට් එකේ ඉන්නවනං ප්‍රමෝශන් මුකුත් නෑ. හැමදාම මෙතන තමයි. මොකද මේක කුඩා ආයතනයක්"
"අවුරුදු කීපෙකටවත් බැයිද සර්?"
"එහෙම බෑ. එහෙමනම් දිගටම මේ පෝස්ට් එකේ ඉන්නවා කියල ගිවිසුමකට එලඹෙන්න ඕන"
"අම්මට උඩු" කියා මට සිතුණි.
"ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. අපේ දෙපාර්තමේන්තුවට උපාධිධාරීන් බඳවගන්නකොට දැනුම් දෙන්නම්. අපරාදෙ කාලෙ නාස්තිකර ගන්න එපා"
දෑසට නැගුනු කඳුලු බිඳු සඟවමින් සගයන්ගෙන් සමුගත් මම බසයට නැගුනේ මා එනතුරු බලාසිටින අහිංසක අම්මාට කුමක් කියම්දැයි සිතමිනි.