Sunday, April 8, 2012

අහිංසක කොල්ලෙක් නිසා අපි ඔක්කොටම බෙබා මාක් වැදුන හැටි




බඩියගෙ අසනීප තත්වය පොර වැඩ කරපු ඔෆිස් එකෙත් ප්‍රසිද්ධ වෙලා තිබුනා. නමුත් ඔෆිස් එකේ වැඩ කරන අක්කලා කීප දෙනෙක් ට්‍රිප් එක ගිය නිසා බඩියගෙ කීර්ති නාමය පලුදු වෙලා තිබුනා.
.........................................................................................................
කලින් වෙච්චදේත් බලලම හිටියනං.

එදා දවල් සෙට් එකෙන් අනුමත වෙන්න සල්ලි එකතු කලේ සුපුරුදු විදිහටම සම්පත් මහත්මයා. නමුත් ඉදිරියේදී පැන නැගිය හැකි ගැටලු කිහිපයක් සලකා බලපු මායි තව එකෙකුයි බොහොම අමාරුවෙන් මේ සද්ක්‍රියාවට දායක නොවී හිටියා. අපේ අනුමානය සාර්ථක උනේ බඩියා තම කාඩ් කුඩු පට්ටම් කර ගැනීමෙන්.

බඩියට මූඩියක් පෑගුනත් වෙරි වෙන බව ප්‍රසිද්ධ රහසක්. නමුත් බොන්න ගියාම ඌට කිසිම සීමාවක් නෑ. සමහර එවුන්  බිව්වම පොඩ්ඩක් කතා කරන එක වැඩි වෙනවනෙ. තව ඉඳලා හිටලා ඕනෙ නම් පොඩි ආතල් එකක් දෙයි. නමුත් බඩියා පොඩ්ඩක් වෙනස් චරිතයක්. ඌ බිව්වම නෝ කතා නෝ සිනා. සෙට් වෙන කොහෙ හරි කමක් නෑ වෙරි හිඳෙනකන් නිදාගන්නවා. ඌ නිදාගත්තම කුම්භකර්ණයත් පරාදයි.
ඒ උනත් බඩියගෙ කිසිම බෙබා පෙනුමක් තිබුනෙ නෑ තිබ්බෙ ලාමක බබා පෙනුමක් විතරයි.ඒක හින්දා එදා වෙනකන් කිසිම කෙනෙක් ඌ බොනව කියල හීනෙන්වත් හිතන්නෙ නෑ.
එදත් සුපුරුදු විදිහටම දවල් කෑමෙන් පස්සෙ කට්ටිය වාෂ්ප උනා. මායි ලහිරුයි සීන් එක දැනගෙන හිටියත් අපි දෙන්නා හිටියෙ මුකුත් නොදන්න තොත්ත බබ්බු දෙන්නෙක් වගේ.
කට්ටිය ආපහු ආවෙ ටිකක් වෙලා ගියාට පස්සෙ. බඩියගෙ තත්වෙ අයහපත් අතට හැරෙන්න පුලුවන් හින්දම බඩියා කෙරෙහි විශේෂ අවධානයක් පවත්වාගෙන යන්න අපි තීරණය කලා. අපේ තීරණය සාර්ථක බව පෙනුනෙ පැයකට විතර පස්සෙ.
ඒ වෙනකොට බස් එක නවත්තලා කට්ටිය වැදගත් ස්ථානයක් නරඹන්න ගිහින් තිබුනා. අපිත් ඒ නඩේට එකතුවුනා. ආපහු බස් එකට එන ගමනෙදි අපි දුටුව දේකින් ඇතිවුනේ තිගැස්මක්. බඩියා පාර අයිනෙ තිබ්බ කොන්ක්‍රීට් බංකුවක් උඩ සැතපිලා. අපේ නඩේ හිටිය කාන්තා පාර්ශවේ කෙනෙක් දැක්කොතින් බඩියගෙ ගෙදරටත් සිද්ධිය සැලවෙන්න ඉඩකඩක් තිබුන හින්දම අපි වහාම ක්‍රියාත්මක වන පරිදි බඩියව බස් එකට අරන්ගියා.
එතන ඉඳන් එක දිගටම බඩියා නිදි. බස් එකේ සින්දු කීවත්, කෑම ජාති හුවමාරු උනත් බඩියා නෙවෙයි ඒ දිහා ඇහැක්වත් ඇරල බැලුවෙ.
"මල්ලි මොකද අර කුසල් දැන් පැය ගානක ඉඳල නිදි." ඒ රෝහිණී අක්කගෙ හඬ.
"අක්කෙ එයාට සනීප නෑ.ඒකයි ඒ" අපිත් එහෙම කීවෙ ශේප් වෙන්න කියල හිතාගෙන.
"බැරිවැඩ නොකර ඉන්න ඕනෙ." ලක්මාලි අක්ක එහෙම කියද්දි සම්පත් කින්ඩි හිනාවක් දාල බඩිය දිහා බැලුවා.
"මේකෙන් කෑල්ලක් අරන් එයාගෙ ඔලුවෙ ගාන්න" රෝහිනී අක්ක දෙහි ගෙඩියක් දීලා එහෙම කියද්දි බඩියගෙ කාඩ් කුඩුවෙන බවක් අපට තේරුණා.
"එයාගෙ  ඔලුවෙ දෙහි ගාන්න ඌ බීල නෑ අක්කෙ" බඩියා බේරගැනීමේ සටනට මම අවතීර්ණ උනා.
ටික වෙලාවකින් බඩිය ඇස් දෙක ඇරල අපි දිහා බැලුවා.
"මල්ලි දෙහි කෑල්ලක් දෙන්ඩද" ලක්මාලි අක්ක එහෙම ඇහුවෙ කින්ඩියට.
"හා එහෙනම් දෙන්ඩකො" අපි ගොඩ නගපු බඩියගෙ පෞර්ශය ඌම නැති කරගන්න හදන හැටියක්.
සම්පත් උගෙ බයික් එකේ යතුරෙන් දෙහි ගෙඩිය හිල් කරල බෑවක් කඩලා බඩියට දුන්නෙ කින්ඩියට උගෙ දිහා බලන ගමන්.
"මල්ලි ඔලුවෙත් ටිකක් ගාල දෙන්න" ආයෙමත් ලක්මාලි අක්කා.
"ඔලුවෙ ගාන්න ඌ බීල නෑනෙ. මේ බඩේ අමාරුවක්" අපි ආයෙ නැතිවුන අභිමානය ගොඩනගන ගමන්.
"උඹත් දෙහි කෑල්ලක් කාපන් සම්පත්" බඩියත් දෙන්නෙ ආතල්මයි.
"..කාපන්" සම්පත් එහෙම කීවෙ නෑහෙන ගානට.
හවස් වෙනකොට ආයෙ කිහිප පොලකම බස් එක නැවැත්තුවෙ අපට බලන්න එක එක තැන් තිබ්බ හින්ද.
රෑ හත විතර වෙනකොට බස් එක උදේට කන්න නවත්තපු ටවුමෙම නැවැත්තුවා. පැයක් විතර හිටපු හින්ද කට්ටියට කොහෙට හරි ගිහින් ඕන තරම් සෙට් වෙන්න වෙලාව තිබුනා.
බස් එකේ හිටපු වයසක අංකල්ලත් සෙට් වෙලා. බස් එක යන්න පටන් ගනිද්දිම බෙග්ට වදදෙන්න පටන්ගත්තා. වැඩේ නැගලම යනවා. උදේ ඉඳන් කෑගහපු හින්දම අපේ උගුරවලුත් රිදෙනවා.
ඒ අතරෙ බස් එකට ට්‍රිප් එක ගිය නැති එකෙකුත් නැග්ගා.
බලද්දි අපිත් එක්ක ඕ ලෙවල් ක්ලාස් ගිය දමිත්. අවුරුදු හතකට විතර පස්සෙ ඌව දැක්කෙ. ඌ ආමි ගිහින්. නිවාඩුවට එනගමන් අපේ අඳුරන එකෙක් ඉඳල ඌව බස් එකට දාගෙන තියෙන්නෙ.
දමිතුත් එක්ක ආගිය කතා කිය කිය ඉන්නකොට යමක් රෝල් වෙලා ඇවිල්ල මගෙ කකුලෙ වැදුනා.
සීට් එකෙන් පහලට අත දාලා මගේ කකුලෙ වැදුනු දේ අරන් බලපු මගෙ ඇඟ සීතල වෙලා ගියා.
හා.....නේ........ බ්ලැක් ලේබල් එකක්.
මට එහෙම හිතුනත් කටින් වචන පිටවුනේ නෑ. ඒ වෙනකොටත් බඩියා ඇතුලු පිරිස බෝතලේ එක බින්දුවක්වත් ඉතුරු කරල තිබුනෙ නෑ.මේක රෝල් වෙලා ගිහින් ඉස්සරහ සීට් වල වාඩි වෙලා හිටපු කාන්තා පාර්ශවයෙ දෙපා ස්පර්ශ කලොත් අහිංසක අපේ පවා කාඩ් කුඩුවෙලා යන තත්වයක් තිබුනා. ඒ හින්දම දෙපාරක් කල්පනා නොකරපු මම සීට් එක අයිනෙ තිබුනු බෑග් එකක් ඇරල ඒකට බෝතලේ එබුවෙ බහිනකොට ගන්න කියල හිතාගෙන. මොකද එතන තිබුනෙ අපේ සෙට් එකේ උන්ගෙ බෑග් විතරයි.
බස් එක ගමනාන්තයට එනකොට රෑ එකොලහට විතර ඇති. ඒ වෙනකොට කට්ටිය හොඳටම හෙම්බත් වෙලා හිටියෙ.
බහින හදිස්සිය නිසාම මටත් බෝතලේ ගැන මතකයක් තිබුනෙම නෑ. ඒත් හදිස්සියෙම වගේ ඒ මතකය අලුත් උනා.
එච්චර වෙලා නිදාගෙන හිටපු බඩියව කට්ටියම එකතුවෙලා  නැගිට්ටවා ගත්තෙ බොහොම අමාරුවෙන්.එහෙ මෙහෙ බලලා තමන්ගෙ බෑග් එක හොයා ගත්ත බඩියා මොනවහරි ගන්න හිතාගෙනදෝ බෑග් එක විවෘත කලා. ඒ වෙනකොටත් බස් එකේ බහුතරයකගෙ ඇස් බඩියගෙ දිහාවට යොමුවෙලා තිබුනෙ ඌ දවස තිස්සෙ දාපු ගොන් පාට්වල ප්‍රතිපල නිසාද මන්ද කියලයි අපට හිතුනෙ. කලබලයෙන් බෑග් එක ඇතුල බලපු බඩියා අවසානයේ යමක් එලියට ගත්තා.
"හුටා...." මගෙ හිත එහෙම කිව්වා.
අක්කලාගෙ සැකය ඇත්ත උනා. ආච්චිලා කම්මුලේ අත ගහගත්තා. අංකල්ලා කින්ඩියට හිනා උනා.
සෙට් එකේ උන්ගෙත් ඇස් උඩගියා. මටත් කරකියා ගන්න දෙයක් නැති උනා.
රතුවුන මූණකින් යුතුව බෝතලේ අතට ගත්ත බඩියා බස් එකේ දොර ලඟට දුවල ගියා.
බෝතලේ එලියට විසි කරපු බඩියා බස් එක නවත්තන්නත් කලින් ෆුට් බෝඩ් එකට බැහැල වමනෙ දාන්න පටන් ගත්තා.
අන්තිමේදි බඩියා ඇතුලු අපි ඔක්කොටම බෙබා මාක් එක වැදුනා.