Tuesday, February 28, 2012

අහෝ මෙවන් මැච් එකක්....




අද දින පැවති ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අසරණයෙකුගේ ශෝකාලාපය...........


උදේ ඉඳන් දවස පුරා ආතල්මය දුන්නේ
ශතක එකට දෙකක් ගහල එය පෙන්වා දුන්නේ
ඉන්දියාවෙ පොරවල් හට පොර ටෝකක් දුන්නේ
කොහොමද මම රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නේ

තුන්සිය විස්සක් ගැහුවම දිනයි කියල හිතුවා
ඒක හින්ද බයක් නැතුව ඔට්ටුවකුත් දැම්මා
ඉන්දියාව බැට් කරද්දි වෙව්ලිල්ලක් ආවා
බලන් ඉද්දි මගෙ රෙදි ටික ගැලවී බිම වැටුනා

කෝලියො ඔහොම නොකරන් අපෙ අය්යලට
හිටියේ මෙදා නම් කප් එක උස්සන්ට
අයියල නම් ඉඳී ආතල් ගෙන යසට
වෙන්නේ මට තමයි හෙලුවැල්ලෙන් යන්ට

ඔසී අයියලා කොහොමට හිටීද
අපේ උන්ට ගොඩ යන්නට ඉඩ දේද
සියලු වස්තුවම මාගේ නැති වේද
ඇඳි වත නැතිව පාරේ යන්ටත් වේද

රංගන අයිය පිතිකරුවෙක් වෙලාලූ
දිල්ෂාන්ගෙ අත හොඳටම රිදෙනවලූ
දඟ පන්දුව ලංකාවට අකැපයිලූ
වේග පන්දු දැම්මම හරි සැපයිලූ

ඊලඟ මැච් එකේදී හරි ජයගන්න
මේ මැච් එක ආදර්සෙට අරගන්න
කලබල නැතිව මැච් ටික ගොඩදාගන්න
සී බී කුසලානෙ මෙහි අරගෙන එන්න

Sunday, February 26, 2012

බේබද්දා සහ දහඅටදහස




සිතුවම් පටය අවසන්වූ වෙලාවේ
ඇසුනා සද්දයක් වාගේ නලාවේ
සිටින නිසා නිවසෙහි හුදෙකලාවේ
සීරියකා ආවද මේ වෙලාවේ

ඇසුනා කෙඳිරියක් පාරේ යටි පැත්තෙන්
දැම්මෙමි ලයිට් එක බැලුමට සහසුද්දෙන්
කිසිවෙකු නොපෙනේය මා හට ඒ පැත්තෙන්
අමතා බැලිමි ඉන්නා අයෙකුට සද්දෙන්

පාරේ කවුරුවත් නැති බව හැඟී ගියා
එක පාරට මගෙ හිරිගඩු පිපිල ගියා
වමනය දමන නාදයකුත් ඇහිල ගියා
බීලා වගෙයි බඩජාරී කුමාරයා

දවස පුරා පොල් කඩමින් වෙහෙසෙන්නේ
ගන්නා හැම සතේකම හොඳ හැටි බොන්නේ
කසිප්පු මුදලාලි පොහොසත් කරවන්නේ
ඌ හට බනිද්දී නින්දකි මට එන්නේ

පොල්ලෙන් ගැසුවසේ නින්දක් මට යනවා
හිමිදිරියෙම ආයෙත් මා පිබිදෙනවා
"කිරියෝ" කියා කවුරුද මා අමතනවා
ඇලපිලි වෙනස් වීමට පෙර මා යනවා

දීපන් මචං වීදුරුවක් මට වතුර
සුගතා ඇවිත් ඇත කරකවමින් යතුර
පොඩ්ඩක් වැඩිවුනානේ ඊයේ මිතුර
දෙනවද නැද්ද ඉක්මනටම මට වතුර

ඉන්නා විටදි ඌ කාණුවෙ සැතපීලා
බල්ලෝ සෙට් වෙලා බඩුමල්ලම කාලා
දහ අට දාහක්ම රුපියල් අත තිබිලා
ඒ ටික පාරෙ තිබුනද කොහෙ හරි වැටිලා

දවසක් දෙකක් ඌ පාරෙහි සෙව්වේය
රුපියල් දෙදාහක් ලත් බව කීවේය
දුක්බර බවක් අප හැමටම පෑවේය
කානුව පුරා හැමතැන බඩ ගෑවේය

මිනිසුන් උදෑසන ඔය පාරෙනි යන්නේ
ගත්ත කෙනෙකු ගැන කිසිවෙකු නෑ දන්නේ
සුගතා එදා අවසිහියෙන් මය උන්නේ
කවුද ඉතින් මේවට වග කියන්නේ

Thursday, February 23, 2012

තවත් පූසෙක්........




මිතුරන් දෙදෙනෙකිය ගම්මානෙක සිටින
කොතැනත් එකටමය දෙදෙනා වෙන් නොවන
කෑමට බීමටද රති කෙලියට යනෙන
නිතරම විනෝදෙනි දෙදෙනා කල් ගෙවන

දැම්මත් කරේ රත්තරනින් බැඳි මාල
පෙම්වතියන්ට දුන්නලු විල්ලුද සේල
අයියා වුනත් මහ දනපති ජයපාල
මල්ලිගෙ නම උනේ ඇන්. ඒ. සිරිපාල

දනපාලගේ මිතුරා විය හඳුඅප්පූ
මිනිහට තිබෙයි අක්කර ගාණක ඔප්පූ
සිරිපාලත් සමගින් ගොස් කැරකොප්පූ
බීලා වැටුනි කේ. එල්. ඒ. මල් අප්පූ

දෙදෙනා මෙසේ ගතකරනා විට කාලේ
ඇතිවිය සුමනා අක්කා සමගින් ආලේ
මුදලට සේවාව දෙන ඇයගේ තාලේ
දන්නෝ දනිති ඒ වැඩකිඩ රෑ කාලේ

සුමනගෙ සුවාමිය හිටියේ දුර බැහැර
මාසෙට දෙසැරයයි එන්නේ ඔහු ගෙදර
වැඩපල කරන විට ඔහු වත්තේ නිතර
ගැමියන් නැවතුනේ සුමනක්කගෙ ගෙදර

රෙදි පිලි වෙලඳාම නිතරම සිදුවන්නේ
ලෙබ්බේ මුදලාලි ගමෙහිම කැරකෙන්නේ
සිරිපාලට තම අදහස පවසන්නේ
මල් අප්පුත් මේ ගමනට එක්වන්නේ

සුමනගෙ මිනිහා අද ආපහු වැඩට ගියා
සති දෙකකට මෙහෙ එන්නේ නෑනෙ එයා
බිම් කරුවලත් දැන් හොඳටම වැටිල ගියා
ලෙබ්බේ මුදලාලි සුමනගෙ ඇඳට ගියා

සාලයෙ වාඩිවී දෙදෙනෙකි සිටින්නේ
සිරිපාලයි මල් අප්පුයි බොලන්නේ
ඔරලෝසුවෙ කටු හෙමිහිට කැරකෙන්නේ
ඒ අතරේ ගෙදරට කවුරුද එන්නේ

ගම්මුන් නොයෙක් දේ තැන තැන පවසනවා
මා නැති දා ගෙට කවුදෝ රිංගනවා
බැල්මට සැක හැරල මම ආපසු එනවා
"දොර ඇරපං, මම සමරේ" පවසනවා

සුමනා නැගී සිටියා දුන්නක් ලෙසට
ඇස් ලොකු විය දාඩිය දැම්මා හොඳට
මිතුරන් දෙදෙන රිංගා ගති ඇඳ යටට
අසරණ තම්බි බැස්සා ගෝනිය තුලට

සුමනා ගිහින් ඇගෙ සැමියව පිලිගත්තා
සුපුරුදු ලෙසට නිවසේ වැඩ කරගත්තා
තව ටිකකින් සැතපෙන බව දැනගත්තා
පැනලා යන්න තිදෙනා අදහස් ගත්තා

"ඤෑව්" කියාගෙන මිතුරෙක් පිටවෙනවා
පූසෙක් කියා සුමනා යලි නිදියනවා
සුපුරුදු නාදයම තව ටිකකින් එනවා
සමරෙගෙ හිතට පොඩි සැකයක් මතුවෙනවා

මිතුරන් දෙදෙන ඇත නිවසින් පිටවීලා
ගේ ලඟ කෙහෙල් පඳුරේ උන් සැඟවීලා
"ඤෑව්" කියාගන්නට තව බැරිවීලා
අසරණ මුදලාලි නිවසේ තනිවීලා

සමරේ කලුවරේ නැගිටලා ගියා
කිතුල් පොල්ලකුත් ගෙන යලි ඇඳට ගියා
මුදලාලිත් හෙමිහිට දොර ලඟට ගියා
තවත් පූසෙකුයි කියමින් පැනල ගියා

සමරෙට තේරුණා පූසා ගිය පාර
පැන්නුවෙ පසුපසින් වෙහෙසක් වී මාර
යන්නට කලින් මුදලාලිට වැට මාර
හිස මැදටම වැදුනා හොඳ පොලු පාර

Wednesday, February 22, 2012

දේවදයෙයි කණ්ඩේන් (මම සුරංගනාවියක් දැක්කා)



හැන්දෑවෙලේ මා නිවසේ සිටින විට
දෙමල සෝ එකක් බැලුමට සිතුනි මට
කොම්පීතරය පීරාලා බලනවිට
තිබුණා.....බලමි එය දැන් මම මෙතැන් සිට

ආදර කතාවකි හැමදාමත් තියෙන
සිටියේ "දනුශ්" කොලවෙරි ගායක රුවන
සිටියෙමි බලාගෙන එය දෙපැයක් පමණ
කාලය ගියේ ඉගිලී හීයක් ලෙසින

කොල්ලා දුප්පතෙකි මව්පියොවත් නැතිය
කෙල්ල පොහොසත්ය සැප සම්පත් ඇතිය
සුපුරුදු කතාවම මෙහි ලියවී නැතිය
වෙනසක් වන ලකුණු දැකගන්නට හැකිය

ආදර කතාවට බාදාවක් ආවා
කෙල්ලට යෝජනාවක් ගෙදරින් ආවා
පොහොහොසත්කමට මිල මුදලට යට වූවා
කෙල්ලත් පොහොසතාහට සෙනෙහස පෑවා

දුප්පත් තරුණයා ඇය පසුපසම විය
නොලැබුනි සහනයක් ඔහු අසරණම විය
නින්දා අපහාස ගැරහුම් බොහෝ විය
පිහිටට හිටියෙ අවසන ගරු උසාවිය

සතියක් මාසයක් නඩුවට දින ගෙවුනා
අවසන ඇගේ ආදරෙ ඔහුටම ලැබුනා
කොලුවා පිලිගන්න ඇය පෙරටම ඇදුනා
ඔහුගේ වදන් ඇගෙ හද පතුලට වැදුනා

ඔබගේ ආදරය ලැබුමට වැඳ වැටුනා
නොදකින් කියා ඔබ වෙනකෙකු වෙත ඇදුනා
මගෙ දුක කියා හැමදාමත් මම තැවුනා
අධිකරණයෙන් අවසන පිහිටක් ලැබුනා

ඔබ වැනි ගැහැණු කැපුමට හැක පොල්පිත්තෙං
වෙනකෙකු දුටුවොතින් උඹ යයි උගෙ පස්සෙං
ආදරෙ කිය කියා එන්නෑ ආයෙත් මං
දෑහට නොපෙනි උඹ යන මගුලක පලයං

එන්න එපා මගෙ දෑසට නොපෙනෙන්න
දනුශ් ගියේ ඈගෙන් සමුගෙන යන්න
මොහොත ඇවිත් මාහට දැන් නිදියන්න
බලනවනම් මෙතනින් එය බාගන්න

Monday, February 20, 2012

කිරිපුතාගේ කුලුඳුල් ප්‍රේම පුරාණය -2



පළමුවන කොටස

ඒ ඇස් දෙක අඳුරගන්න මට අපහසු උනේ නෑ.
සිතාරායි තරුෂියි අපි බෑග් තියපු සීට් එකේ වාඩි වුනා. තවත් පැයකට විතර පස්සෙ චාටර් වෙවී තිබ්බ බස් දෙක අනුරාධපුරේ බලා ඇදෙන්න ගත්තා.
සෙට් එක ගෙනත් තිබ්බ ලට්ට ලොට්ට වලට තඩිබබා සින්දු කියන්න පටන්ගත්තා. ඒ අතරින් ලලිත්ගෙ ප්‍රියතම ගායකයා වෙච්ච  බස් අජිත්ට විශේෂ තැනක් දෙන්න ඌ විතරක් නෙමෙයි අපිත් අමතක කලේ නෑ.
ඔහොම යන අතරෙ කට්ටිය ගෙවල්වලින් ගෙනාපු කැවිලි ජාති කකා අපි අපේ පාඩුවේ ගීත ගායනා කරමින් හිටියා.
මගේ ප්‍රියම්බිකාව එක්ක දොඩමලු වෙන්න වගේම අනිත් එවුන්ගෙ ප්‍රේමකථා වලට සුලු සුලු උපකාර කරන්නත් මට පුලුවන් උනා.
විශේෂයෙන්ම ලලිත්ට වැඩේ ගොඩදාගන්න මගෙ උපරිමෙන්ම සපෝර්ට් එක දුන්නා. ටිකක් දුර යනකොට සින්දු කීම නැගලම යන අතරෙ කට්ටිය බස් එක ඇතුලෙ ඩාන්ස් කරන්නත් පටන් ගත්තා. කට්ටියට ඩාන්ස් කරන්න ඉඩදීලා මම සිතාරගෙ ලඟින් වාඩිවුනා.
අනුරාධපුරේට යනකල්ම සිතාරාත් එක්ක කතා කර කර යන්න චාන්ස් එක ලැබුනා. මං කොච්චර වාසනාවන්තද සිතාරාගෙ ඇස් දෙක දිහා බලපු මට හිතුනා.
මම ටීවි එකේ යන හින්දි ෆිල්ම් එකක් නෑර බලන හින්දම ලව් කරන එකත් හින්දි ෆිල්ම්වල වගේ කරන්න ඕනෙ කියල තමයි මට හිතුනෙ. ඒ වෙනකොට මට වයස අවුරුදු 15ක් වෙලාවත් නෑ. ඔය වයසෙ ඉන්න කොල්ලෙක් මොනවද ආදරේ ගැන දන්නෙ.
ඔය අතරෙ ලලිතුත් නන්දනීට පේන්න තමන් දන්න ශිල්ප පෙන්වමින් හිටියා. ගමේ ඉස්කෝලෙ ඉද්දි ලලිතුයි මායි හිටියෙ එක පන්තියෙ. සිතාරා, තරුෂි ඒ වගේම එරංගයත් හිටියෙ අපේ පන්තියෙ. ඒක හින්ද දහම් පාසලේදි අපි හතරදෙනා හිටියෙත් එකම පන්තියෙ. ලලිත්ව දහම් පාසල් යවන්න තියා ඌව ඉස්කෝලෙ යවන්නවත් උන්ගෙ තාත්ත සුගතෙ මාමට උවමනාවක් තිබ්බෙ නෑ.
සින්දු කියකියා නටනටා අපි අනුරාධපුරේටම ආවා. දවල්ට කන්න බස් එක නැවැත්තුවෙ නුවර වැව ගාවද කොහෙද. කන්න කලින් නාන්න සෙට් වෙච්ච අපේ කොල්ලො ටික ශෝටවල් දාගෙන වැව ලඟට ගියා.
කට්ටියම හිතේ හැටියට නෑවා. කොල්ලො විතරක් නෙවෙයි ට්‍රිප් එක ගියපු කෙල්ලො කීප දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ නෑවා.
ටිකක් වෙලා නානකොට තමයි මතක් වුනේ සෙට් එකේ එකෙකුටවත් සබන් කෑල්ලක් ගේන්න බැරිවුන විත්තිය.
"මචං සබං පාරකුත් ගාගන්න තිබ්බනං තමයි එල" එහෙම කිව්වෙ අපේ සංජයා. ඌ අපට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල්.
"මගෙ බෑග් එකේ සබං කෑල්ලක් ඇති බං. හිටපං මං ඒක ගේන්නං" එහෙම කියපු එරංගයා බස් එක ලඟට දිව්වා.
"කෝ බං අර එලාරයා ඒ පොන්සියා තාමත් නැද්ද" දැන්නං සංජයගෙ කටේ සැර පොඩ්ඩක් වැඩියි වගේ.
"මූ කාත් එක්ක හරි අනුමත වෙලා වගේ" මම හෙමිහිට ලඟ හිටපු චූටි මහත්තයට කිව්වා.
"මාත් පොඩ්ඩක් අපේ එරංග මල්ලි පරක්කු මොකද බලලා එන්නංකො" එහෙම කියපු සංජයා හෙමිහිට බස් එක ලඟට ඇදුනා.
ටික වෙලාවකින් දෙන්නා කින්ඩි හිනාවකුත් දාගෙන වැව පැත්තට ආවා.
"මොකෝ බං උඹලා කින්ඩියට වගේ හිනාවෙන්නෙ" මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු බණ්ඩාර අයියා ඇහුවා.
බණ්ඩාර අයියා කියන්නෙ අපෙ ගෙට පාතින් ගෙදර පොර. සේනක අයියගෙ මල්ලි. ඒ දවස් වල පොර කැම්පස් එකේ හිටියෙ.
"නෑ අයියෙ නිකං" එරංගයා ලැජ්ජාවෙන් වගේ සංජය දිහා බලලා කිව්වා.
"මේ එරංගයා වෙන කෑල්ලකට පැනි හලලා මාට්ටු. අර දැන් ආපු ලේලන්ඩ් බස් එකේ හිටපු කෑල්ලකට" සංජයා මේ කියන්නෙ බොරුවක් බව මට තේරුණා.
"මේ ඒක නෙමේ, ඇත්ත කියපං. මොකක්ද කේස් එක." මම එරංගයගෙන් හෙමිහිට ඇහුවා.
"මං යද්දි රෝහිණී අක්කා බස් එකේ ඇදුම් මාරු කරනවා. ඉතින් මං එයා බස් එකෙන් බහිනකං බස් එක ලඟට වෙලා හිටියා. එතකොට මේ #*^&^^ ආවනෙ බං. ඌ බණ්ඩාර අයියට කියද?" එරංගයා බයවෙලා.

සංජයා වෙරිමරගාතෙ ඕක බණ්ඩාර අයියට කීවොත් එලාරයට අනුරාධපුරේදිම කන්න වෙන බව මං හොඳටම දැනං හිටියා.බණ්ඩාර අයියා රෝහිණී අක්කත් එක්ක යාලු වෙලා වැඩි කාලයක් නෑ එතකොට.

"හොඳ වැඩේ තොට. ඒක නෙමේ උඹ තාම ගාන්නෙ බේබි සබන්ද?" මං ඌ ගෙනාව බේබි සබන් කෑල්ල පෙන්නලා ඇහුවා.
"මං උඹට කියන්නෙ නෑ ගාන එක." එලාරයා සැරවුනා.
නාල ඉවර වෙලා අපි සෙට් එකම ගහක් යටකට ගිහින් කෑම කෑවා. කට්ටිය ගෙනාපු ව්‍යංජන හෙමත් එතනදි හුවමාරු උනා.
ඊට පස්සෙ බස් එකට නැගල අටමස්ථානෙ වඳින්න යන්න පිටත් උනා. ටික දුරක් යනකොට ඔච්චර වෙලා බස් අජිත්ට වද දිදී හිටපු ලලිත් හෙමිහිට ඇවිත් වාඩිවෙනවා මම දැක්කා.
ටික වෙලාවකට මට ඌව අමතක උනත් පස්සෙ ආයෙ බලද්දි මෙන්න ඌ ඉන්නවා පුක්මූන දාගෙන.
"මොකද බං පහලවත්තෙ ජයා බීපුහාම ඉන්නවා වගේ ඉන්නෙ. මොකක්ද අවුල?" මම ඇහුවා.
"මට අමාරුයි බං." ඌ කීවෙ එච්චරයි.
"හිටපං මං උඹට පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්නං" එහෙම කියලා මම බෑග් එකේ තිබ්බ පැනඩෝල් කාඩ් එක හොයන්න ගත්තා.
"ඕවා ඕනෙ නෑ බං" ඌ කීවා.
"එහෙනං උඹට අමාරුයි කීවෙ" මට මාර ගැටලුවක්.
"&(^^& මට බොගක් චාජ් වෙලා ඉන්න බෑ යකෝ" ඌ එහෙම කියද්දි මට හිතුනෙ උට එතනම වැඩේ වෙයි කියලා.
කොහොම හරි බස් එකේ ඩ්‍රයිවර් සමන් අයියට සීන් එක කියලා කැලෑ බද හරියක බස් එක නවත්තගත්තා.
බස් එකෙන් බැහැපු ලලිතා දුවපු වේගෙට කවුරුවත් ඌව දැක්කෙ නෑ. ටික වෙලාවකට පස්සෙ මට මීටර් වුනේ මුට හෝදගන්න වතුර නෑ නේද කියලා. මොකද මට ඔයවගේ ඇබැද්දියකට පොඩිකාලෙදි මූණ දෙන්න උනා.
මම කරේ මෙගා බෝතලේකට වතුරත් අරන් ඌ ගිය පැත්තට ගියපු එක.
මං යනකොට ඌ ඉන්නවා මොනවද කාපු රිලවා වගේ.
"හදිස්සියට මට වතුරත් අමතක උනා බන්." ඌ කීවා.
මම ඌට වතුර බෝතලේ දීලා ආයෙ බස් එකට ආවෙ අපේ එවුන්ගෙ හූ හඬ මැද්දෙ. ඊට නොදෙවෙනි හූවක් ලලිත්ටත් ලැබුනා. කාලයක් යනකං ඌට ගමේ කොල්ලො කීවෙ "බොගා" කියලා.



ප. ලි.
       මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 9ක් විතර ඇති. දැන් ලලිත් අවුරුදු 3ක විතර දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. එදා හිටපු කපල් වලින් තාමත් ඉන්නෙ එලාරයයි තරුෂියි විතරයි. මේ අවුරුද්දෙ උන් දෙන්නගෙ වෙඩින් එක ගනියි. මම උන් දෙන්නට මුලු හදවතින්ම සුබ පතනවා.

Friday, February 17, 2012

හදාගනින් හිත............



ඔබ යලි එනතුරු
දෑඟිලි ගැන්නා.......
දෑස රිදෙන තුරු
පෙරමඟ බැලුවා..........

ඉඳහිට නම් මට
සිහිනෙන් පෙනුනා......
මාහට නොදැනිම
දෙනුවන් තෙමුනා.......

නුඹ දැක ගන්නට
වෙහෙසක් දැරුවා.....
දින සති මාසද
අවුරුදු ගෙවුනා.....

පාසල් මිතුරන්
ගෙන් විමසූවා........
කිසිවෙක් නොදන්න
බව පැවසූවා.......

කොළඹට යන්නට
බසයට නැගුනා.....
ඔබෙ රුව වැනි
තව රුවකුත් දුටුවා.....

එනමුදු ඔබ
ඉදිරියෙනුයි සිටියේ.......
කෙලෙසද මා ඔබෙ
මුහුණ දකින්නේ.......

ඉස්සිල ගැස්සිලා
එබිකම් කෙරුවා......
බසයේ සිටි උන්
මාහට රැව්වා.....

නැගිටල යන්නට
මට සිත් වූවා.....
ඔබ දැකගන්නට
මා ට්‍රයි කෙරුවා.......

විනාඩි විස්සක්
දැන් ගතවූවා.......
ඔබ බැසයන්නට
සැරසෙනු දුටුවා........

කෙලෙසක හෝ
ඔබෙ මුහුණ දකිනවා....
ඔබ හමුවී
තොරතුරු විමසනවා......

පසුපස දොර වෙත
ඔබෙ රුව ඇදුනා.......
ඒ දැක මගෙ ඇස්
කඳුලෙන් පිරුනා.....

මා සෙවු රුව නොව
වෙනකෙකි සිටියේ......
බලාපොරොත්තුව
දෙදරී වැටුනේ......

මොනව කරන්නද
දුප්පතා.........
හදාගනින් හිත
කිරිපුතා.........

Wednesday, February 15, 2012

එල්ලපං මගෙ සරම........



සමහර යූඇන්පි කාරයෝ ඉන්නවනෙ ආයෙ කැපුවත් කොල. ආයෙ අම්මේ මුත්තේ කීවත් වෙන පක්ෂෙකට චන්දෙ දෙන්නෙ නෑ. මේ දවස් වල ආණ්ඩුව හොඳක් කරත් වැරදි නරකක් කලත් වැරදි. අපේ විජේ මාමත් ඒ වගේ තමයි.හැබැයි පොඩි පරහක් තිබුණා.ඒ තමයි විජේ මාමගෙ නෝනා සන්ධානෙ වෙච්ච එක.
ඔය දේශපාලන කේස් වලට එහෙ පොඩි පොඩි වලි හෙමත් නොයනවාම නෙමෙයි.විජේ මාමාට කඩයක් තියෙනවා.
ඒකෙ බිස්නස් හෙමත් නැගලම යනවා. කඩේට එන සමහර මිනිස්සු කරන්නෙ විජේ මාමව අවුස්සන එක.එතකොට ඉතින් අම්මද මුත්තද කියලා බලන්නෙ නැතුව විජේ මාමා පටන් ගන්නවා ජාතිය අමතන්න.
මේ සිද්දිය වෙන කාලෙ වෙනකොට යුද්දෙ ඉවර උනා විතරයි මයෙ හිතේ. හැමෝම මහින්ද මහත්තයගෙ ගුණ ගායනා කරනවා කියලා විජේ මාමා ටිකක් විතර අප්සට් මූඩ් ගහලා හිටියෙ. වෙන දෙයක් තියා ගෙදර ගෑනිත් අනිත් පැත්තෙ වෙච්චි තමන්ගෙ පැත්තට කවුරුවත්ම නැති වෙනකොට විජේ මාමා තවත් අසරණ වෙලා හිටියෙ.
ඒත් තනියෙන් හරි තමන්ගෙ සටන ගෙනියන්න පුලුවන් හයියක් විජේ මාමාගෙ කටේ තිබ්බා.
ඒ අවුරුද්දෙ නිදහස් දවසත් ආවා. හැමෝම ගෙවල් වල ජාතික කොඩි දානවා. ඒකට ජාති බේද, පක්ෂ බේද නෑනෙ. අපිත් අපේ ගෙවල් වල කොඩි දාලා පොඩි රවුමක් ගහන්න කොල්ලො සෙට් එකත් එක්ක ගියා.
හැම ගෙදරකම ජාතික කොඩි දාලා එක ගෙදරක හැර. ඒ තමයි විජේ මාමලාගෙ ගෙදර. අපි එතනින් යනකොට නැන්දා අපට කතාකලා.
"පුතේ, අපේ ගෙදර විතරයි නිදහසට කොඩියක් දාලා නැත්තෙ, උඹලට පුලුවන්නම් මේ කොඩිය එල්ලලා දීලා පලයල්ලකො"
ගමේ මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවාම ඒක නොකර මග අරින සිරිතක් නෑ. ඒ හින්දා අපි කොඩිය එල්ලන්න ලෑස්ති උනා.
එතකොටම විජේ මාමා එතනට කඩාපාත් උනා. ඒ වෙනකොටත් මෑන් නිදහස සමරලා තිබුනෙ.
"පුතේ, උඹලා ඔය කොඩිය අරන් මොකද කරන්නෙ?"
"අපි මේක එල්ලන්න හදන්නෙ මාමෙ."
"ඕක නෙමෙයි එල්ලපං මගෙ සරම. ආ ඉඳා......"
කන සාක්කුවට දාගෙන ඉන්න විජේ මාමා සරම ගලවලා දෙන්න හදනවා. නැන්දට මල පැන්නා.
"මේ මිනිහට අද වගෙ නිදහස් දවසකත් කටවහන් ඉන්න බැරි හැටි. ඕවා ගනන් ගන්න එපා පුතාලා ඔය කොඩිය එල්ලපල්ලා. මං උඹලට තේ ටිකක් හදන්නං "
"තෝ වහගනිං #$@$%යෙ කට. ඔය (ටීක්) ඉන්නකං අපට නිදහසක් නෑ බොල."
"(ටීක්) මහත්තයා තරං මේ රටට වැඩක් කරපු උත්තමයෙක් වෙන ඉන්නවද. අනේ මේ ඔහේ කට පියන් ඉන්නවා."
"තෝ කවුද @#$%^* මගෙ කට වහන්න." කියපු විජේ මාමා පිහියක් ඇදලා ගත්තා.
එනපොට හොඳනැති වග දැනගත්ත අපි අඩියට දෙකට එතනින් මාරුවුනා.නැන්දා ඇස්වල කදුලු පුරවන් බලා ඉන්නවත් අපි දැක්කා.
(පින්තූරය ගත්තෙ මෙතනින් http://gossip9.files.wordpress.com/2011/05/4.png?w=1000&h=)

Monday, February 13, 2012

අයියගෙ යාලුවෙක් දැක්කා...........



අපේ දර්ශන උස මහත කොල්ලා උනාට තාම ඉන්නෙ අට වසරෙනෙ. ගිය අවුරුද්දෙ දවසක මෑන් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට සුසන්තයත් එක්ක තමයි ඇවිත් තියෙන්නෙ. සුසන්තයා ඉස්කෝලෙ යන්නෙ අවාරෙට අඹ වැටෙනවා වගේ තමයි. සතියකට දවස් කීපයක් ඉස්කෝලෙ යවන්න මහේෂ්ල සෑහෙන ට්‍රයි එකක් දුන්නා. බැරිම තැන වැඩේ අල්ලලා දාලා තියෙන්නෙ.
එදා සන්ජුත් එක්ක සන්ජුගෙ යාලුවෙකුත් ආවලු. යාලුවගෙ නම තාරුකාලු. ඒ දෙන්නා එතකොට තුන වසරෙ හින්දා පොඩ්ඩක් කලින් තමයි ඉස්කෝලෙ ඇරෙන්නෙ.
දර්ශනයත් සුපුරුදු පරිදි කාමරේට ඇවිත් ඇඳුම් මාරු කලාලු. හැබැයි මෑන්ට කාමරේ ජනේලෙ වහන්න අමතක උනාලු. සාමාන්‍යයෙන් ඔය වයසෙදි කොල්ලො සරමක් නැත්නම් අඩුම ගානෙ තුවායක් ඒත් නැත්නම් මොකක් හරි රෙද්දක් පාවිච්චි කරනවනෙ. මූට කිසිම සවුක්කියක් නෑ.(බෝඩිමේදි අපිත් එහෙම තමයි ). ඔය අතරෙ අර  තාරුකාත් ජනේලෙ ගාවින් ගියාලු. පොඩි එවුන්ටත් ඕවා මැජික්නෙ. අනික හැමදාම දකින එකක්යැ. තාරුකා දුවගෙන ගියේ සංජු ගාවටලු. ගිහින් "සංජු සංජු අයියගෙ යාලුවෙක් දැක්කා" කිව්වලු. පස්සෙ සංජු ඔය කතාව හැමෝටම කියලා. අන්තිමේදි දර්ශනට කාඩ් එකක් වැදුනෙ "අයියගෙ යාලුවා" කියලා තමයි.

(පින්තූරය ගත්තෙ මෙතනින් http://img188.imageshack.us/img188/9065/124mz.jpg)

Thursday, February 9, 2012

අයියා අපි එහෙම ගිලෙන්නෙ නෑ



අපේ චූටි මාමගෙ කොල්ලා එහෙමත් නැත්නම් දර්ශන මේ දවස් වල ටිකක් චව් වෙලා ඉන්නෙ. මෑන් ගැන ලඟදි අලුත් සීන් මොකුත් දාන්න බැරිවුන හින්දා ඒකට තමයි මේ සූදානම.
මෑන් ගිය සතියෙ මාමයි මෑන්ගෙ නංගියි තව අපේ ලොකු මාමගෙ පුතාල දෙන්නයි තව සුසන්ත කියලා පොඩි එකෙකුයි එක්ක ගඟට ගිහින්. ඒ දවස්වල පෑවිල්ල හින්දා ලිංවල වතුර සෑහෙන්න අඩුවෙලා තිබුනෙ. ඒක හින්ද ගමේ සෑහෙන දෙනෙක් ගඟට තමයි නාන්න යන්නෙ.
මෑන්ගෙ නංගිගෙ නම සංජු ඉන්නෙ හතර වසරෙ.මෑන් වගේ නෙමෙයි සංජු හරි දඟයි. දර්ශන නංගිගෙන් ගුටි කනවත් එක්ක.

මාමා නාලා ඉවර වෙලා අනිත් අයට එන්න කියලා පොඩ්ඩක් මාමගෙ ඩිමෝ බට්ටා නවත්තලා තිබ්බ තැනට ගියාලු. එතනට ගඟ ගාව ඉඳන් පොඩ්ඩක් විතර යන්න තියෙනවා. එතන හිටපු අනිත් අයගෙන් ලොකු මාමගෙ ලොකු එකා වෙච්ච ලොකු මහේෂ්ටයි සුසන්තටයි විතරයි පීනන්න පුලුවන්.
දැන් අනිත් කට්ටිය නාලා ඉවර වෙලා ගොඩට ආවලු. මෑන් ගඟේ ඇවිදගෙන එනවලු. ලොකු මහේෂ් කිව්ව්ලු ඔය හරිය යටයි එහා පැත්තෙන් එන්න කියලා. අපේ මෑන් නෙවෙයිලු ඒක කනකට වත් ගනන් ගන්නෙ. "අයියා අපි එහෙම ගිලෙන්නෙ නෑ" කියලා පොර ටෝකකුත් දුන්නලු. ඊලඟ තප්පරේදි ගොඩ හිටපු සුසන්තයා කෑගහනවලු "අන්න අරූ ගිලුනා" කියලා.

ටක් ගාලා සුසන්තයයි ලොකු මහේෂුයි දෙන්නා ගඟට පැන්නලු අරූව බේරගන්න. ලොකු මහේෂ් හෙන ට්‍රයි එකක් දෙනවලු දර්ශනයව ගලක් තියෙන හරියකට තල්ලු කරන්න.දර්ශනය හදන්නෙ ලොකු මහේෂ්ගෙ ඇඟ උඩට නැගලා හුස්ම ගන්නලු. ඒ අස්සෙ සුසන්තයා මෑන්ව ආයෙ වලට අදිනවලු. ඒ අතරෙ සංජු බයවෙලා කෑගහනවලු. පොඩි මහේෂුයි සන්ජුයි හිටියෙ ගොඩනෙ. පොඩි මහේෂ් සංජුට කෑගහන්න එපා කියලා කිව්වලු. මාමා ආවොත් ආයෙ කට්ටිය කවදාවත් ගඟට එක්ක එන්නෙ නෑනෙ.
කොහොම හරි විනාඩි 5ක් විතර දඟලලා මෑන්ව ගොඩට ගත්තලු. දර්ශන ගොඩ ආපු ගමන් කිව්වලු වතුර ලීටර් එක හමාරක් විතර පෙවුනා කියලා.
ලොකු මහේෂ් දර්ශනටයි සුසන්තටයි දෙන්නටම බැනලා කිව්වලු ආයෙ නම් ගඟට නාන්න එන්න එපා කියලා.
එතකොට දර්ශන කිව්වලු " පිස්සුද මම හෙටත් එනවා" කියලා.