Monday, May 28, 2012

මැදියම් රැයේ ආ අමුත්තා (කුසුමාවතී - 2 )




පලමු කොටසට.......

එක අතකට කැත්ත අරගත්තු කුසුමාවතී ගැහෙන හදවතින් යුතුව දොර ඇරියා. ඇගෙ හිත තරමක් චංචල වෙලා තිබුනෙ.
දොර බාගෙට ඇරපු කුසුමා යාන්තම් ඔලුව එලියට දාලා වටපිට බැලුවෙ රෑ ජාමෙ දොරට තට්ටු කරන්නෙ මොකාද කියලා බලාගන්න ඕනෙ හින්දමයි.ඇය දැකපු දෙයින් තරමක තිගැස්මකට පත්වුනා.
"මේ රෑ ගෑණියෙක් මොකද අපේ මිදුලෙ කරන්නෙ. එතකොට මුන්දැද දොරට තට්ටු කරේ" කුසුමට එහෙම හිතුනා.
"කවුද........" මේ පාර කුසුමා ටිකක් සද්දෙට ඇහුවෙ හිතේ කොනක තිබුනු බය ඉස්මතුවෙලා ආපු නිසාමයි.
මිදුලෙ කෙලවරක තිබුන අඹ ගහ යට  මොනවදෝ හාර හාර හිටපු ගෑණි කුසුමා දිහා හැරිලා බැලුවා. ඒ හරියට කරුවල වැටිල තිබුන හින්දා ඒ ගෑණිගෙ මූණ කුසුමට පැහැදිලිව පෙනුනෙ නෑ.
මූණ පැහැදිලිව නොපෙනුනත් අඹ ගහ යට හිටපු උන්දැගෙ ඡායාව ටිකක් මැගිලින්ගෙ වගේ කියල කුසුමට හිතුනා.
මැගිලින්ගෙ ගෙවල් තිබුනෙ කුසුමාවතීගෙ ගෙවල්වලට ටිකක් දුරින්. උන්දැගෙ වයස අවුරුදු පනහක් විතර ඇති.
 තැනින් තැන පැහිච්ච කොණ්ඩයක් තිබුණ මැගිලින්ගෙ ඉස්සරහට ආපු දත් ඇන්ද ඈට තරමක විරූපි පෙනුමක් ගෙනාවා. මැගිලින් කුසුමත් එක්ක දෙතුන් වතාවකට වඩා කතා කරලා තිබුනෙ නෑ.
ගමේ මිනිස්සු නම් කියන්නෙ මැගිලින් අමුතු ගෑණියෙක්ලු. නිතරම බුලත් විටක් කටේ දාගෙන හිටපු මැගිලින් කතාකරන වචන පවා තරමක් අපැහැදිලියි කියලා කුසුමට හිතුනා.
මනෝ ලෝකයේ හිටපු කුසුමා එක පාරටම ගැස්සිලා වටපිට බැලුවා. ඒත් ඒ වෙනකොට අඹ ගහ යට හිටපු ගෑණි එතනින් අතුරුදහන් වෙලා.
කුසුමගෙ හිතට තරමක බයක් දැනුනා. ඒත් හිතට දහිරිය ගත්තු කුසුමා ආපහු ගේ ඇතුලට ඇවිත් දඩාස් ගාලා දොර වහගත්තා.
ඒ සද්දෙට කුසුමගෙ අම්මටත් ඇහැරුනා.
"මොකද කෙල්ලෙ මේ මහ රෑ සීරි යකා දැකලා වගේ...." අම්මා එහෙම අහද්දි කුසුමා ඇගේ මූණට නැගිලා තිබුනු දාඩිය පිහිදාගත්තා.
"මුකුත් නෑ අම්මෙ....." කුසුමා එහෙම කිව්වට ඇගේ හිත පොඩ්ඩක් චංචල වෙලයි තිබුනෙ.
" එහෙම නම් කමක් නෑ. කොයිකටත් තුනුරුවන් සිහි කරල නිදාගනිං....." අම්මා එහෙම කිව්වා.
......................................................
පහුවදා එලිවෙන ජාමෙ කුසුමා ඇහැරුනේ කුකුල්ලු අඬලන සද්දෙට. අම්මා තාම නිදි.
මූණ කට හෝදගත්තු කුසුමා කේතලේ ලිපේ තියනකොට අම්මත් ඇහැරලා කුස්සිය ගාවට ආවා.
"කෙල්ලෙ ඊයෙ රෑ මොකද උනේ. මට ඇත්ත කියපං...." අම්මා එහෙම අහද්දි කුසුමා අම්මට ඇත්තම කිව්වා.
" කොයිකටත් අපි යමංකො බලන්ඩ. ඔය ලාම්පු කුප්පිය ගනිංකො...." අම්මා ඉස්සර උනා.
අම්මගෙ පිටිපස්සෙන් කුසුමා අඹ ගහ ලඟට ඇදුනෙ දෙගිඩියාවෙන්. ඊයෙ රෑ දැකපු මූණ ඈට මැවිලා පෙනුනා.
ඊයෙ දැකපු මූණ පැහැදිලි නැති උනත් ඒ මැගිලින්මයි කියලා කුසුමට හිතුනා.
"අපොයි දෙයියනේ........" අම්මගෙ විලාපෙට කුසුමා පියවි සිහියට ආවා.
"ඇයි අම්මා....." කුසුමා එහෙම අහද්දි අම්මා ඈ දිහා ඔරවලා බැලුවා.
"මේ බලාපං......." අම්මා අඹගහ යට තිබුණු යමක් කුසුමට පෙන්නුවා.
ඒ දිහා බලපු ඇගේ ඇසුත් ලොකු උනා.

 ...............මතු සම්බන්ධයි.........

Friday, May 25, 2012

මිනීවාහිනිය




මලකුණු වල රස බුදිමින් සැනසෙන්න
මහතුනි නුඹලාට හැකිවෙද විමසන්න
අනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්න
මිනීවාහිනිය බැහැ නොවැ නරඹන්න

කඳුලත් සැපක් විදියට අදහා ගත්ත
දුක විකුණලා මඩි තව තද කරගත්ත
සිනහව නගා එය පෙන්වා නම ගත්ත
මහතුනි කිමද ඔබලාගෙන් ගත යුත්ත

පෙන්වන්නට මලකුණු විතරද ඇත්තේ
වෙන වෙන පුවත් ඇයි නරඹන්නට නැත්තේ
රඟපාලා ඒවා පෙන්වති පැත්තේ
එලියට පෙනේ මහතුනි ඔබලගෙ තත්තේ

අසරණ මිනිසුන්ගෙ දුක ඔබලට සතුටක්ද
සියදිවි නසා ගන්නා එක සැපයක්ද
අනතුරු බහුල වනවිට සිත් සැනසේද
ජීවිතයක අගය ඔබ හට වැටහේද

මවකගෙ ඇසින් වැටෙනා උණු කඳුලකට
පවුලේ අයගෙ සිත්වල තිබෙනා දුකට
සතුටින් ඉපිලෙමින් කරනා ලෙස මිලට
මිනීවාහිනිය වැජඹෙනවා යසට

(පින්තූරය ගත්තෙ ගොසිප්9 එකෙන්)

Monday, May 21, 2012

කසිප්පු ප්‍රමෝෂන්




නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.

කියුවත් එක එක කතා
බිව්වත් රසටම ඉතා
සිරිදාසගෙ සුදූ තමයි
ගමේ උන්නු හිතවතා

අවමගුලට මුල්තැන
මංගල්ලෙදි අඩුතැන
ගමේ උන්ට කොයික වෙතත්
සුදූට ලැබෙනව තැන

ඉස්සර කාලක් හැටයි
ඉක්මන් කොහොමත් කොටයි
ගමේ ගොඩේ සමහර උන්
බොන්නේ අකුලක් යටයි

පොලෝසියෙන් එනවලූ
එතකොට හැංගෙනවලූ
සිරිදාසගෙ ගෝඩ හැලිය
යහමින් බබලනවලූ

ගමේ ගොඩේ දේ වලින්
හදනව මේවා සොඳින්
බීවෝතින් ඉන් චුට්ටක්
දෙව්ලොව පේනව ලඟින්

සවි සක්තිය ලැබෙනවා
හැඩි දැඩි බොඩි ලැබෙනවා
සුදූගෙ පිහිටෙන් සැමදෙන
සතුටින් කල්ගෙවනවා

හැමදාමත් මේ ලෙස
දිවගට රස දෙන යස
අගනා ඔසුවකි මෙය නම්
මකනවා සියලුම දොස

(මෙය කියවා බලා කසිප්පු බීමට තරම් ඔබ අඥාන නොවන බව දනිමි.)

Saturday, May 19, 2012

බොසා සහ බ්ලොග් එක





බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට.
ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්පීතර් වැඩ කරන සේවකයො ඉඳල හිටලා මූණු පොතට ගිහින් එහෙමත් නැත්නම් බොලොග් එකක් කියවලා බොසාට අහුවුනොත් ඉතිං සොරිම තමයි. ඔයවගේ අවස්ථාවලදි එක එක සේවකයන්ට දැනෙන සිතිවිලිවල එකතුවක් තමයි මේ.
 (සේවකයො කියල කිව්වට ඉතිං මේ මට හිතෙන ඒවා තමා)

ඉඳහිට වගේ හැරිලා වටපිට බලලා
බොසා අසුනෙ නැති බව තහවුරු කරලා
ගූගල් දෙයියන්ට පොඩ්ඩක් ඉඟි කරලා
එන්ටද ගොසින් මාගේ බ්ලොග් එක බලලා

කොමෙන්ට් එකක්වත් අද වැටිලා නැද්ද
මේල් එකට එන හින්දා නැහැ සද්ද
රිප්ලයි කරන කල ඇතිවේවිද යුද්ද
බොසා නැති දාට අපහට හොඳ හොද්ද

රිප්ලයි කරන්නට වෙන්නෙම පමාවෙලා
බ්ලොගේ හිතවතුන් යාවිද තරහවෙලා
අනේ මහතුනේ පොඩ්ඩක් සමාවෙලා
පවසමි මගේ දුක මෙලෙසට වැඳ වැටිලා

මූණු පොතට ගියොතින් මම අහුවෙනවා
වැඩ මහ ගොඩක් මා වටකර කැරකෙනවා
දැන්නම් බොසෝ මට පොඩ්ඩක් තදවෙනවා
හිතේ දුකට එතකොට කවි ලියවෙනවා

හිතේ සතුට උතුරන දවසුත් එනවා
එදා බොසා ඔපීසියෙන් පිටවෙනවා
ෆීල්ඩ් එකේ මුලු දවසම ගතවෙනවා
ඔපීසියේ අපි සතුටෙන් හිනැහෙනවා

මූණු පොතද සමගින් බ්ලොග් එකට වැදී
කියවමි ලියමි කෙතරම් ලියවුනත් මදී
සතුටින් සිහින සාගරයක සුවය විඳී
අල්ලපු මේසෙ පොර දැන් හොඳටෝම නිදී

Sunday, May 13, 2012

කාටත් හොරෙන් යන්නම ගිය සොඳුරු හිතවතා....




අපේ හිත් වලට සතුටක් ගෙනාපු ඒ සොඳුරු මනුස්සයා වෙනුවෙන් මේ විදියට කවි පන්තියක් ලියන්නවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ජීවිතය අනිත්‍යයි කියන දේ අපට ආයෙත් මතක් කරලා ආයෙ නොයෙන්නම ගියපු ඔබා මාමට මේ කවි පන්තිය උපහාරයක්ම වේවා.......!

අපගේ දෑස් කඳුලෙන් පුරවලා තියා
ඔබා මාම අද සමුගෙන යන්න ගියා
සුන්දර මිනිසෙකුව සතුටින් සිටිය එයා
වෙනුවෙන් ලියමි දුක්බර සෝ සුසුම් තියා

සැලකුවෙ අපට ඔහුගෙම දරුවන් ලෙසට
සතුටක් එක්කලා අපගේ සිත් වලට
නිතරම කමෙන්ට් දැම්මත් මගෙ බ්ලොග් එකට
යලි නොවැටේවි කවදාවත් ඒ ලෙසට

මතකයි කල කතා සයිබර් සැනකෙලියේ
පැතුවේ හමුවන්න නැවතත් අපි ජොලියේ
අද දින පටන් නෑසෙයි ඒ හඬ සරියේ
මතකය අපේ නොමැකෙයි මතු මතුද තියේ

වැඩිහිටියෙකු ලෙසින් ඔවදන් දුන් නුඹට
මිතුරෙකු ලෙසින් හිතවත්වූ ඔබෙ නමට
සදහට අපෙන් නුඹ වෙන්වී යන දුකට
රෑරා වැටෙයි දෑසින් උණු කඳුලු කැට

සමුගෙන ගියත් ඔබ අපගෙන් වෙලා දුරු
මතකය තියේ ජීවත්වී සිටින තුරු
"ඔබ්සර්වර්" නාමය මතු රැකෙනයුරු
ඔබෙ නම තියේ සිංහල බ්ලොග් තිබෙනතුරු

ජීවිතයේ අනියත බව පෙන්වාලා
සමුගෙන ගියත් බ්ලොග් ලෝකය හඬවාලා
"ඔබා මාම" මතු නිවනින් සැනසීලා
පතනෙමු ඔබට අප සැමදෙන එක්වීලා

ආයෙ කවදාවත් බ්ලොග් එක පැත්තෙ එන්නෙ නැති බව දන්නවා ඔබා මාමෙ....!


ඔබා මාමත් එක්ක ඡායාරූපයක ඉන්න ලැබීමත් මට ලොකු වාසනාවක්.

Friday, May 11, 2012

වැඩිම වියදමක් දරා ගල් පෙන්නන සුපර් සික්ස්.....




මේව කියවලා කවුරුවත් මගෙත් එක්ක අමනාපවෙනවා හෙම නෙවෙයි ඕං. උඹලට පෙන්නන්න හොඳයිනං අපි ඒක වර්ණනා කොරපුවාම මක් වෙනවද. මං මේ කීවෙ කාන්තා පාර්ශවේට.

කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නා
සිනමා රසවතුන්හට උපරිම ෆන් දෙන්නා
බොලිවුඩ් සිහිනයෙන් මුසපත්වී ඉන්නා
අපේ අයට බොලිවුඩ් දැන් පෙන්වන්නා

සිංදු වලට විෂුවල් නියමෙට ඇතිය
බොලිවුඩ් තරමටම තියෙනව එහි ගතිය
අන්දල ගත්තොතින් සිටිනා රූමතිය
පෙන්විය හැකිය අපහට හොලිවුඩ් ගතිය

වියතක් දිගට ඇති සායක් ඉනෙහි සිට
ඇඳගෙන සිටියි බොලිවුඩ් නිලියක ලෙසට
රෑබර ගතිය තරමක් වැඩිකර ගන්ට
ගවුමක් ඇන්දුවා ඒකත් තව කොටට

කොටට ඇඳන් ඔය විදිහට සිටින විට
වාඩිවෙන්න නොහැකිය සිතු සිතු ලෙසට
අඩ නිරුවත නුඹෙ ලොවටම පෙනෙන කොට
මොකටද ඇඹරෙන්නෙ නංගියෙ ඔය ලෙසට

ඇඳගෙන මෙලෙස වයිවාරණ ඇඳුම් කැඩුම්
පානව ලොවට මේ විදියට අනග රැඟුම්
ආවත් මෙලෙස නුඹලාහට රැවුම් ගෙරුම්
පෙන්නාපන් අක්කෙ තව කැවුම් කැවුම්

රාගය කාම තණ්හා ඉස්මතු වේය
මිනිසුන් කෙරෙන් ලැජ්ජා බය දුරු වේය
දූෂණ රටේ තවදුරටත් වැඩි වේය
කොසොල් රජුගෙ සිහිනය ඇත්තක් වේය

Wednesday, May 9, 2012

පුක කියන්නෙ ඇත්තටම කුණුහරුපයක්ද?




මේක අපි ඉස්කෝලෙ යනකාලෙ කතාවෙච්ච වැදගත් කරුණක්. අපේ කතන්දර ශූරීන් පුක කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි කියල පෙන්නලා දුන්නනෙ.
ඒත් මීට අවුරුදු කීපෙකට කලින් අපි ඒ වගක් දැනගෙන හිටියත් ප්‍රසිද්ධ ස්ථාන වල පුක කියන වචනෙ නොකියන්න අපි පරිස්සම් වුනා. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ඉන්න තැන්වල. ඒ අයට නම් මේක මහා ලොකු කුණුහරුපයක් උනා.
හැබැයි ඉතිං ගමේදි නම් ගොඩක් මිනිස්සු පුක කියන වචනෙ කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව කියනවා.ඒක හින්දම ගමේදි කිසිම ගාණක් නැතුව පුක කියන වචනය ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහස අපට තිබ්බා. නමුත් උසස් පෙල කරන්න පන්ති යන කාලෙ පුක කියන වචනය ඉස්කෝලෙට හා සීමිත ස්ථාන කීපයකට විතරක් සීමා කරන්න අපට සිද්ධ උනා.
නමුත් අපේ නිදහස අපට පාවිච්චි කරන්න දවසක් උදා වුනා.
එදා තවත් එක ඉරිදා දවසක්. අපි වෙනදා වගේම රසායන විද්‍යාව පන්තියේ වාඩිවෙලා හිටියා. පුරුදු විදියටම උගන්වන ගමන් සර් උදාහරන පැහැදිලි කරල දෙන ගමන් කතාවක් පටන්ගත්තා.
"මේ පන්තියෙ ඉන්නෙ කුනුහරුපයක්වත් දන්නෙ නැති කොල්ලොනෙ......" සර් එහෙම කියද්දි අපිත් කටවල් ඇරගෙන සර් දිහා බලාගෙන හිටියෙ තීරණාත්මක ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවරේ යන වෙලාවට ටීවි එක දිහා බලාගෙන ඉන්නවා වගේ.
"ගිය සතියෙ මේ පන්තියෙ පිරිමි ලමයෙක්ගෙ තාත්තෙක් මට කෝල් කලා. කෝල් කරල කියනවා, මම පන්තියෙ කුණුහරුප කියනවලු" සර් එහෙම කියද්දි මමයි මට එහා පැත්තෙන් හිටපු උදානයයි මූණෙන් මූණ බලා ගත්තා.
"යකෝ මෙච්චර කාලෙකට සර් පන්තියෙ කුණුහරුපයක් කියනවා අපට ඇහිල නෑනෙ." මම හෙමිහිට උදානයට කීවා.
"අඩේ අපි නොදන්න කුණුහරුපත් තියෙනවද දන්නෙ නෑ. " මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සවුදා එහෙම කීවා.
උදානයා මුකුත් නොකියා උගෙ කින්ඩි හිනාව දැම්මා.
"මම ඇහුවා මොනවද මම කියපු කුණුහරුප කියලා" සර් එහෙම කියනකොට සවුදා තවත් අවධානයෙන් සර් ඉන්න පැත්ත බලන්න පටන් ගත්තා.
"මම පන්තියෙදි පුක කියලා කියනවලු, තව පඩේ කියලත් කියනවලු" ඒ වචන ටික ඇහෙනකොට අපේ මූණුත් මැලවුනා.
"නොදකින් යකෝ මේවද මේ කුණුහරුප.... මේවට කුණුහරුප කිව්වොත් අර එකම අකුරකින් පටන් ගන්න වචන සෙට් එකට කියන්න වචනයක් නැතිවෙයි" උදානයා කෙඳිරුවා.
"ඇයි එච්චරද තියෙන්නෙ....... " කියපු සවුදා කුණුහරුප වැලක් කියාගෙන ගියා.
අපි තුන්දෙනා අතර සිද්දවෙන මේ සයකන්මන්ත්‍රණය  ඉස්සරහ පේලියට නෑහෙන ගානට ගෙනියන්න අපි සමත් වුනා. මොකද ඒ වෙනකොට අපි හිටියෙ පන්තියේ අන්තිම පේලිවල.
ලමයි දෙතුන් දාහක් ඉන්න පන්තියක අන්තිම පේලියක ඉන්න එවුන් ටිකක් යන්තමට කෙඳිරුවාට සර්ට නෑහෙන විත්තිය අපි හොඳින්ම දැනං හිටියා.
"පුක කියන වචනෙ හරිම අසභ්‍යයි. ඒක හින්දා ඒවගේ වචන පන්තියෙ පාවිච්චි කරන්න එපා. එහෙම කියලා ඒ මහත්තයා කිව්වා" සර් එහෙම කියනකොට සවුදා කිව්වෙ වෙන කතාවක්.
"එහෙම නෙවේ බං, ඒ මනුස්සයා කියන්න ඇත්තෙ පාපිල්ල අයින් කරලා පන්තියෙ පාවිච්චි කරන්න එපා කියලා" සවුදා කියද්දි අපි නෑහුණ ගානට හිටියා.
එතකොටම සර් ආයෙම කතාව පටන් ගත්තා.
" මම ඇහුවා ඉතිං, ඇයි මහත්තයට එහෙම එකක් නැද්ද කියලා. එතකොටම උන්නැහෙ ෆෝන් එක තිබ්බා" එහෙම කියපු සර් ආයෙම පාඩම පටන් ගත්තා.
අවසානයේ අපේ  නිගමනය උනේ පුක කියන්නෙ හොඳ සිංහල වචනයක් හා ස්ථානෝචිතව පාවිච්චි කලයුතු වචනයක්. කොයිකටත් කට පරිස්සම් කරගන්න එක හොඳයි.

අවසාන උපදෙස : කිනම් භාෂාවක වුවද තැනට සුදුසු වචන භාවිතයෙන් අයහපතක් වීම වලකා ගත හැකිය.

Monday, May 7, 2012

ගමේ මන්ත්‍රීගෙන් ගේම ඉල්ලන විජේ මාමා....






වෙසක් දවසෙ පන්සල් යන ගමන් හඳුන්කූරු පෙට්ටියක් ගන්න විජේ මාමගෙ කඩේට ගොඩ වැදුනා. දැන්නම් උන්නැහේ අලුත් ඇන්ටනාවක් ගෙනල්ලද කොහෙද අයි.ටී.එන්. එක ගැන කිසි කතාවක් නෑ. ඒත් අලුත් කතාවක් ඇදිල ආවෙ නොහිතූ විදිහට. මේක අපේ ගමේ සාමාන්‍යයෙන් කතා කරන්න බය මාතෘකාවක්. මේකට විරුද්ධව කතා කරන්න ඉන්නෙ විජේ මාමා ඇතුලු කීප දෙනෙක් විතරයි. මම කිසි බයක් නැතුව මේක බ්ලොග් එකේ දාන්නෙ අදාල පුද්ගලයො මේක කියවන්න තියෙන හැකියාව බොහොම අල්ප හින්දා.
විජේ මාමා කියපු කතාව මම කවියෙන් කියන්නම්.



එක ගමකට එක වැඩක්
තව ගමකට තව වැඩක්
මේක හරිම හොඳ වැඩක්
මෙහෙත් වෙනව හරි වැඩක්

උදෑසනින් පිබිදුනා
ගම්මුන් එක් රැස් උනා
පාර පුරා හැඩවුනා
විසල් තොරන් ඉදිවුනා

මිලියනයක් දෙනවලූ
ලොකු ලොක්කන් එනවලූ
ගම කල එලි වෙනවලූ
පාරක් ඉදි වෙනවලූ

ලොකු ලොක්කන් පැමිණියා
ඇම් පී ලත් පැමිණියා
ඒ දෙසටම කට අයා
අපි සේරම එහෙ ගියා

ලොකු මුල්ගලකුත් තියා
කතාවකුත් කල නියා
අප සැම ඉපිලී ගියා
ඇම් පී යන්නට ගියා

මිලියනයක් දුන්නට
දුක සැප අපෙ බැලුවට
අපෙ ඇම් පී මහතට
පුදනව අපි මල් මිට

අපි දන්නව ඉතිරිය
හැමදාමත් වෙන දෙය
පගා බලෙන් ගොඩ ගිය
පවුලකි එය නමගිය

ඇම් පී හට දරදිය
ඇදලම වැහැරී ගිය
සිරි අයියගෙ නම ගිය
කිසිවෙකුටත් නැහැ බිය

පාරවලුත් හදනවා
වමට පාර ගහනවා
ගමට සල්ලි ලැබෙනවා
ඔහුගෙ ගෙදර හැදෙනවා

ලොකු මල්ලිට කුට්ටියයි
පොඩි මල්ලිට කුට්ටියයි
වටේ පිටේ කට්ටියයි
ගමට දෙන්නෙ හට්ටියයි

ගමට ලැබෙන සොච්චමෙන්
පාරක් අටවයි සෙමෙන්
ගම්මුන් වෙත බැඳි පෙමෙන්
ඔහු වැජඹෙයි රජෙකු මෙන්

මේ පාරත් එච්චරයි
හැමදාමත් ඔච්චරයි
කීමට දේ මෙච්චරයි
ගමට එන්නෙ අච්චරයි

( පින්තූරය ගත්තෙ මෙතනින්    ; http://farm1.static.flickr.com/127/350974927_57fcf53ce2.jpg)

Thursday, May 3, 2012

කුසුමාවතී (ත්‍රාසය භීතිය සැඟවුන ආදර අන්දරය )





කුඹුරෙ වැඩට මහන්සි උන නිසාම කුසුමාවතී වේලාසන නින්දට වැටුනා. ඒත් රෑ දෙගොඩහරියෙ ඇහුන මහා සද්දෙට ඈ උඩ ගිහින් ඇහැරුණා. යටි ගිරියෙන් කෑගහන සද්දෙ ඇහුනෙ කන ලඟ ඉඳන් බෙරිහන්දෙනවා වගේ. ඒ මුස්පේන්තු සද්දෙ කුසුමගෙ හිතේ රැව් පිලිරැව් දුන්නා.
ඒ වෙනකොට කුසුම ලස්සන හීනයක් දැක දැකයි හිටියෙ. එයාගෙ ආදරණීය ප්‍රේමවන්තයා සියදෝරිස් කුසුමට දෙන්න නෙලුම් මල් අහුරක්ම කඩන් එනවා. කුසුමත් සියදෝරිස්ව පිලිගන්න වැව අයිනෙ තිබුණ කුඹුක් ගහ යටට වෙලා බලන් හිටියා.
කුසුමට සියදෝරිස්ව පෙනුනෙ ගාමිණී පොන්සේකා මහත්තයා වගේ. "ෂා.... එදා සිදාදියට ගිහිං බලපු පිචර් එකේ ගාමිණි මහත්තයා හිටිය වගේමයි. හරිම හැඩයි" කුසුමට හිතුනා.
සියදෝරිස් එක අතකින් මල් පොකුරත් අරන් කුසුමගෙ දිහාවට දුවගෙන එන්න පටන් ගත්තා. ගමේ හරක් පස්සෙ දුවන සියදෝරිස් අද තමන් දිහාවට දුවගෙන එන්නෙ අමුතුම රටාවකට කියල කුසුමට හිතුනා.
කොච්චර හයියෙන් දුවගෙන ආවත් සියදෝරිස්ට පොඩ්ඩක්වත් හති තිබුනෙ නෑ. මේ වගෙ හයිය හත්තිය තියෙන ඉලන්දාරියෙක් ලැබිච්ච එක පූරුවෙ කරපු පුන්‍ය කර්මයක් කියල ආයෙමත් කුසුමට හිතුනා.
කුසුමගෙ ඉදිරිපිටට ආපු සියදෝරිස් එක පයක් ඉදිරියට තියල ඇගෙ ඉදිරියෙන් දණ ගැහුවා. සියදෝරිස් මෙහෙම දනගහයි කියල කුසුම කීයටවත් හිතුවෙ නෑ. ඒ හින්ද ඈට ටිකක් ලැජ්ජත් හිතුණා. සියදෝරිස් තමන්ගෙ අතේ තිබුණ මල් පොකුර කුසුමට දෙන්න ඒක කුසුමගෙ ලඟට දික් කරා. කුසුමත් අත දික්කරේ ඒක ගන්න කියල හිතාගෙන.
ඔන්න ඔය වෙලාවෙ තමයි අර මූසල සද්දෙට කුසුමාවතීට ඇහැරුනෙ. ඈට හරිම කේන්තියි. ආයෙ හීනෙ මුල ඉඳන් බලන්න හිතාගත්තු කුසුම ඇඳේ ඇලවුනා. ඒත් ඈට නින්ද ගියෙ නෑ. "එයැයි තාම පැල් රකිනව ඇති" කුසුමට හිතුනා.

"පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.....
 රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද......
 තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ.....
 රන්කඳ තාම පැල් රකිනවද නිදි නැතිද....... "

මේ කාලෙ නිරෝශා විරාජිනීවත් ඉපදිලා හිටියනම් එහෙම කියයි කියල කුසුමට යාන්තමට වගෙ හිතුනා.
ටික වෙලාවකින් කුසුමට ආයෙමත් නින්ද ගියා. නමුත් වැඩිවෙලා යන්න කලින් කවුදෝ මහ හයියෙන් දොරට තඩිබාන සද්දෙට ඈ අවදිවුනා. "කවුද......" ඈ ඇහුවත් ඈට කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.
"කවුද......" කුසුමගෙ ස්වරය ටිකක් බියපත් වුනා. අප්පච්චිත් හේනට ගිහිල්ලා. අම්මත් හොඳටෝම නිදි. උන්දැත් ඉන්නෙ ලෙඩ ගානෙ හින්ද අම්මව ඇහැරවන්න කුසුමට හිතුනෙ නෑ.
දොරට තඩිබාන සද්දෙ ආයෙමත් ඇහෙන්න ගත්තා.
හිතට දහිරිය ගත්තු කුසුමාවතී එක අතකට කැත්තත් අරන් ඩිංගිත්තක් දොර ඇරියා.
එතකොටම......

දෙවන කොටසට...

Tuesday, May 1, 2012

කම්කරුවෙකුගේ මැයි දින පණිවුඩය.....




රටේ දේශපාලන පක්ෂ එක එක ආකාරයෙන් මැයි දිනය සමරද්දි දුප්පත් කම්කරුවෙක් කොහොමට මැයි දිනේ සමරනවද කියලා හිතුනා. මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවක් උනේ ලොකු ජෝන්ගෙ මෙන්න මේ ලිපියයි. ඒ ලිපිය කියෙව්වට පස්සෙ ඇතිවුන ශෝකයට ලියවුන කවි තමයි මේ.

වෙහෙසෙන තරම දන්නේ කරගැට පමණී
සොච්චම් පඩිය දැක මාගේ සිත පිරුණී
දින සති මාස හීනෙන් වාගේ ගෙවුණී
කම්කරු අපට නැවතත් මැයි දින ලැබුණී

 උදෑසනම මා නිවසෙන් පිටවෙනවා
බිරිඳට දරුවනට උදයෙම සමුදෙනවා
දෑත රිදෙන තුරු පාරේ වෙහෙසෙනවා
දහයට අසල ඇති කඩයක් වෙත යනවා

වඩයක් කකා බොන්නට මට තේ උගුරක්
හැකිනම් එයත් මගෙ කුසයට රස අහරක්
ආසයි ගිලින්නට බත් මුල වගෙ වෙහෙරක්
කහට එකත් දැන්නම් මට රස දහරක්

දහවල ගිනි අව්ව ඇයි මේ තරම් සුව
නොදනිමි  මහතුනේ මා කර තිබෙන පව
රත්වන විට තාර පාරේ සැරට තව
දන්නෙමි මිරිඟුවක් ඈතින් පෙනෙන බව

කාපට් පාර ඔබලට සුවසේ යන්න
දරනෙමි වෙහෙස හොඳහැටි සකසා දෙන්න
සුපවයිසර් පොඩ්ඩක් ඉවසා ඉන්න
දැන්නම් මටත් බඩගිනි දැනෙනව ඔන්න

පාන්දරින් නැගිටින මගෙ ප්‍රිය බිරිඳ
දුන් බත් මුලෙන් තාමත් නැගෙනවා සුවඳ
එහි ඇති දිව පිනායන මනරම් රසද
විඳින කලට සිහිවේ නුඹ මට සබඳ

දරුවන් ගැන සිතා සැමවිට වෙහෙසෙන්නේ
වයසට වඩා දැන් නම් වැහැරී ඉන්නේ
නුඹෙ ආදරය කවදත් නැත අඩුවෙන්නේ
නුඹ සිහිවෙද්දි කොහොමද ගින්දර බොන්නේ

බාධක ගොඩක් ආවත් ලොව හතර අතින්
මවුපියො නුඹට සලකයි රජෙකුටත් උසින්
සුන් කර නොදා අපෙ පැතුමන් නුඹේ අතින්
මගේ පුතේ නුඹ වෙනුවෙන් ඉගෙන ගනින්

ලොකු ලොකු අය මැයි දිනවල් සමරනවා
දුප්පත් කම්කරුවො සැමදා වේලෙනවා
චන්දය දාට අප හීනෙන් රජවෙනවා
අපෙ කර මතින් එතුමන් ඉහලට යනවා

අද සිට හිනැහෙනව මැයි මල් මනමාලී
පොහොසත් වෙන්නෙ හැමදාමත් මුදලාලී
ලොකු මහතුන් යනකොට මැයි පෙලපාලී
උරුම වෙන්නෙ අපහට නම් පිටලෑලී