Friday, January 28, 2011

පොල්කට්ටගෙ ගමේ ක්‍රිකට් තරඟාවලිය


මම ක්‍රිකට් කණ්ඩායමට සුබ පතලා දාපු පෝස්ට් එකට විකී දාපු කොමෙන්ටුව හින්දා මට ක්‍රිකට් සම්බන්ධ වුණ කතා සෙට් එකක් මතක් උනා. මේ ඒවගෙන් එකක්.
 දැනට අවුරුදු කීපයකට කලින් අපේ ගමට අල්ලපු ගමේ කොල්ලො සෙට් එකක් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කලා.ඒක තිබුණෙ හරියටම අවුරුදු දවසෙ.
අපේ ගමෙනුත් කොල්ලො සෙට් එකක් මැච් එකට ගියා. සය සාමාජික තරඟාවලියක් කියන්නෙ අන්න ඒකක් තමා තිබ්බෙ.
අපි කට්ටිය එතෙන්ට යනකොට අනිත් ගම් වලින් ආපු කොල්ලො තැන් තැන් වල ප්‍රැක්ටිස් කරනවා. දැන් අපේ එවුන්ටත් ප්‍රැක්ටිස් කරන්න ඕන වෙලා.ඒත් ඉතින් හය හය බෙදෙන්න එපායැ. කොහොම හරි බෙදාගන්න බලද්දි ඉන්නෙ එකොලහයි. ඊට පස්සෙ අපට විදේශීය ක්‍රීඩකයෙක්ව ආනයනය කරන්න සිද්ද උනා. අපේ කරුමෙටද කොහෙද ඒකනායක කියලා අල්ලපු ගමක අයියා කෙනෙක් තමයි හොයාගන්න හම්බ උනේ.
කණ්ඩායමේ හිටිය පොඩිම එකා තමයි මම. ඒ කාලෙ ඕනෙ නම් මම දහය වසරෙ ඉන්න ඇති.ඒක හින්ද මට කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවෙත් අන්තිම තැන තමයි හම්බ උනේ.
කොහොම හරි දැන් තරඟාවලිය පටන්ගන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉවරයි. ටීම් විසි ගාණක් විතර හිටියා මයෙ හිතේ.
ඔන්න පලවෙනි මැච් එක පටන් ගත්තා කියමුකො. ඔක්කොම අම්පයර්ලා එතකොට නිවේදකයො ඔක්කොම හිටියෙ අර ගමෙන්ම තමයි. මේක පොල්කට්ටගෙ ගම හොඳේ.
මේ මැච් එකටත් ඒ ගමේ ටීම් එකකුත් හිටියා. පලවෙනි මැච් එක කිසිම අවුලක් නෑ.පොල්කට්ටගෙ ගමේ ටීම් එක පරාදයි.
දෙවනි මැච් එකේදි තමයි අපට වැඩේ තේරුනේ.මෙන්න බොලේ පලවෙනි මැච් එකේ හිටපු අම්පයර්ලා දෙන්නයි, නිවේදකයොයි ඊලඟ මැච් එක ගහන්න ඇවිත්. කලින් මැච් එකේ පැරදිච්ච ටීම් එකේ කට්ටියක් තමයි දැන් අර රාජකාරි කරන්නෙ.
එල්.බී.ඩබ්ලිව් රනවුට් ඔක්කොම හොරට දෙන්නෙ.
වැඩි වෙලාවක් ගියෙ නෑ. අනිත් ටීම් එකේ එවුන් වලියක් දාගත්තා. දැන් දෙගොල්ලොම හොඳට ගහගන්නවා.
එඊට පස්සෙ එතන හිටපු අනිත් අය එකතුවෙලා තමයි වලිය නවත්ත ගත්තෙ.මෙන්න බොලේ ඒ අතරෙ කවුදෝ කප් එක උස්සලා.
ඒ හින්දා තරඟාවලිය සතියකට කල් දැම්ම කියලා නිවේදනය කලා. හැබැයි ඒ සතිය තාම ආවෙ නෑ.


Monday, January 24, 2011

ඇල්බට් සිංඤොගෙ මංගල මල් කැඩිල්ල




ඇල්බට් සිංඤො කියන්නෙ මගෙ හොඳ හිත මිත්‍රයෙක්.පොර මගෙ ආස්සරේට වැටුනෙ දැනට අවුරුදු කීපෙකට කලිං.
ඒ මගෙ හොඳ යාලුවෙක් වෙච්ච ප්‍රියන්තගෙ නෑකමක් හින්දා. ප්‍රියන්තගෙ මස්සිනා තමයි ඇල්බට් සිංඤො හෙවත් ඇල්බා.
ඇල්බට අප්‍රමාණ නම් ප්‍රමාණයක් තියෙනවා.එක එකා දන්නෙ වෙන වෙන නම් වලින්.
අපි උසස් පෙල කරන්න ක්ලාස් යන කාලෙ තමයි ඇල්බා හොඳටම ෆිට් උනේ.
ඌ දැක්කම හිතන්නෙ මරුසි ඩයල් එකක් කියලා. ඒ උනාට දන්න එවුන් හොඳටම දන්නවා උගෙ මරුසිකම.
ඇල්බට් කැමති කොන්ඩෙ කපපු කෙල්ලොන්ට. හේතුව මොකක්ද කියලා ඇහුවට කියන්නෙත් නෑ. අපේ සෙට් එකම මෑන්ට "කොන්ඩෙ කපලා" කියලා නෝන්ඩි කරනවා. අන්තිමේදි මෑන්ට "කොන්ඩෙ කපලා" කියලා කාඩ් එකකුත් වැදුනා.
මම කැම්පස් එකේ දෙක වසරේ ඉන්න කාලෙ අපි බෝඩිමක් අරන් හිටියා. ඒක තට්ටු තුනක විතර ගෙදරක්. එක එක කාමර වල බෝඩිං කාරයො හිටියා.
ඒකෙ ඉන්න කොල්ලන්ගෙ සිරිතක් තිබුනා. සාමාන්‍යයෙන් මලක් කඩන්න ඕන උනාම උඩම තට්ටුවට තමයි යන්නෙ. අව්ව වැස්ස මේ කිසි දෙයක් ගැන කවුරුත් කිසිම තැකීමක් කරන්නෙ නෑ. තමන්ගෙ පාඩුවේ මල් කඩනවා. රෑ වෙනකොට ඕක උඩ කොල්ලො පිරිලා. සමහර එවුන් හිටගෙන තවත් එවුන් ඉඳගෙන ලවක් දෙවක් නැතුව මල් කඩනවා.
ඔන්න ඉතිං ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි දවසක ඇල්බටත් හඳ පෑව්වා. හුරු බුහුටි කෙලි පොඩිත්තක් ඇල්බට බහ දීලා.
දැන් ඉතිං බෝඩිම එකම මගුල් ගෙයයි. මනමාල මහත්තයට එක එකා ඇවිත් සුබ පතනවා.
ඔන්න ඉතිං රෑ බෝ වෙනකොට ඇල්බට මංගල දුරකතන ඇමතුම එනවා.
පලවෙනි කෝල් එක ආවා. නෝ ආන්සර්.
 දෙක, තුන....... දහය ඔය විදිහට කෝල් එනවා ඒත් ඇල්බා ආන්සර් කරන්නෙ නෑ.
දැන් අපටත් මේක ප්‍රශ්නයක්.
අපටත් ඉතිං කට පියාගෙන ඉන්න බෑනෙ. අපිත් ඇහුවා "මොකද ඇල්බො කෝල් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ ?" කියලා.
"මට ලැජ්ජයි බං" කියලා ඇල්බා කියපි.
අපට දැන් කොහෙන්ද මේකට හිනාවෙන්නෙ කියලා හිතාගන්න බෑ. යකෝ මෙච්චර අමාරුවෙන් දාගත්ත කෙල්ලගෙන් කෝල් එකක් එනකොට ආන්සර් කරන්නෙ නැත්තෙ මොන මෝඩයාද?
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න වෙන නොම්මරේකින් උට කෝල් එකක් එනවා.
ටිකක් වෙලා කල්පනා කර කර හිටපු ඇල්බා කෝල් එකට ආන්සර් කලා. ෆෝන් එකත් කනේ ගහගත්ත ඇල්බා මෙන්න බොලේ උඩ තට්ටුවට නගිනවා.
විනාඩි දහයකට විතර පස්සෙ මෙන්න බොලේ ඇල්බා පුස් මූනක් දාගෙන එනවා.
"මොකද බං ඔය පුස් මූන දාගෙන?" ප්‍රියන්තයා ඇහුවා.
"ඒකි චාටර් බං" ඇල්බා කියපි.
මෙච්චර වෙලා වර්ණනා කර කර හිටපු ඇල්බට්ගෙ සුරංගනාවි මෙන්න බොලේ එක පාරටම චාටර්ලු.
පස්සෙ ඇල්බව රවට්ටගෙන තමයි අපි කතාව දැනගත්තෙ.
අර අන්තිමේට කෝල් කරලා තියෙන්නෙ කෙල්ලගෙ අක්කා. අරූ කෝල් වලට ආන්සර් කරන්නෙ නැති හින්දා කෙල්ල ඔක්කොම අක්කට කියලා.
ඊට පස්සෙ අක්කා ඇල්බට කෝල් කරලා හොඳටම අමතලා.

Saturday, January 22, 2011

මදුරුවාගෙ කතා-4 (මදුරුවාගෙ ජන්ම ගති ටිංටිං හෙලිදරව් කරයි)



මේ කතාව මට කිව්වෙ ටිංටිං.මේකටත් මදුරුවා සම්බන්ධයි.මදුරුවා පොදු වැඩකදි ලෙස්සලා යනවා කියලා හැමෝම දන්නවනෙ.ඒ උනාට කෑමට නං රුසියා. ඒ වගේ බඩගිනිකාරයෙක් අපි කවුරුත් දැකලා නෑ.කවදාවත් ඌ අනිත් එවුන් කෑවද නැද්ද කියලවත් බලන්නෙ නැතිලු.
 මේ සිද්දිය වෙච්ච දවසෙ ටිංටිංලගෙ අයියා කෙනෙක් උන්ගෙ බෝඩිමට ඇවිල්ලා. එදා ඒ අයියටත් එක්ක තමයි කෑම උයලා තියෙන්නෙ.
කෑම කන ගමන් මදුරුවා ටිංටිංට පහුවදා උදේ බෝඩිම සුද්ද කරමු කියලා යෝජනාවක් දැම්මලු.
ටිංටිං ගත් කටටම කිව්වලු "ඔහොම කියලා උඹ හෙට උදේම මාරු වෙයි. අන්තිමේ අපටම තමා උඹේ කාමරෙත් සුද්ද කරන්න වෙන්නෙ " කියලා.
ඒ පාර මදුරුවා සද්ද නැතිලු.
කෑම කන්න ගිහිනුත් පොඩි සීන් එකක් වෙලා. මදුරුවා පැනපු ගමන් බෙදා ගන්නවනෙ. අන්තිමේදි අර ආපු අයියා ව්‍යංජන පොඩ්ඩක් එක්ක තමයි කෑම කාලා තියෙන්නෙ. සමහර එවුන් නිකං බත් විතරක් කාලා.
මදුරුවගෙ සමහර ගති නම් හැදෙන ඒවා නෙවෙයි කියලා තමයි ටිංටිං නම් කියන්නෙ.
තව දවසක ටිංටිං පබිලිස්ට නෝන්ඩි කරලා. ඉස්සරවෙලා කනවනං අනිත් උන්ටත් තියලා කන්න කියලා.
ඒක මදුරුවට හොඳටම වැදිලා ඌ එදා පොඩ්ඩයි කාලා තියෙන්නෙ.
මට හිතෙන විදිහට නං අනිත් කට්ටිය ගැන හිතන්නෙ නැති එකත් වැරදියි. කන බොන දේවල් ගැන කියලා නෝන්ඩි කරන එකත් වැරදියි.

Thursday, January 20, 2011

දර්ශන නොහොත් අපේ චූටි මාමගෙ කොල්ලා



දර්ශන කියන්නෙ අපේ චූටි මාමගෙ පුතා. එයා ශෂිතට වඩා අවුරුද්දක් බාලයි.දැන් ඉන්නෙ හත වසරෙ.
පොරත් ගේම් පිස්සෙක්.හැබැයි ශෂිත තරම් නං ගේම් ගහන්න දක්ෂ නෑ.මට නම් හිතෙන්නෙ ඒකට හේතුව එයාට ගෙදරින් නිදහසක් දෙන්නෙ නැති එක වෙන්න ඇති.
චූටි නැන්දා හැම තිස්සෙම පොරට පාඩම් කරන්න කියලා කෑගහනවා. ඒක හින්දා පොරට සෙල්ලම් කරන්නවත් නිදහසක් නෑ.
පොර අනිත් කොල්ලොත් එක්ක සෙල්ලම් කරකර ඉන්නවා නැන්දා දැක්කොත් ඌ ඉවරයි. ඌට පාඩම් කරන්න කියලා කෑගහනවා.
පොර කරුවලට හරිම බයයි.කවදාවත් රෑට එලියට යන්නෙ නෑ. පොරට සංජුලා කියලා නංගි කෙනෙක් ඉන්නවා.පොර නංගිගෙනුත් ගුටි කනවා.
හැබැයි පොර ටෝක්ස් නම් ගොඩයි.
දවසක් පොර ඉස්කෝලෙදි ක්‍රිකට් ගහන්න ගිහින් වැටිලා.ඊට පස්සෙ ඉස්කෝලෙන් මාමලාගෙ ගෙදරට කෝල් එකක් ආවා. මමත් එදා එහෙ ගිහින් හිටියෙ. පන්තිභාර ටීච කියලා දර්ශනගෙ කකුල උලුක් වෙලා ඉක්මනට එන්න කියලා. මාමත් කලබල උනා. ඉක්මනටම බයික් එක අරන් ඉස්කෝලෙට ගියා.
පොඩි නංගිටත් ඉස්කෝලෙ ඇරිලා. මාමා දෙන්නම බයික් එකේ දාගෙන ආවා. බයික් එකෙන් බැහැපු දර්ශන නොන්ඩි ගහ ගහ ගේ ඇතුලට ආවා.
නැන්දා මාමගෙන් ඇහුවා කොල්ලට හුඟක් අමාරුද කියලා. මාමා කියනවා ටීච කියපු තරම් අමාරුවක් නෑ.කකුලෙ බාම් ටිකක් ගාලා දෙන්න කියලා.
ඊට පස්සෙ නැන්දා කියනවා "ඕකා මල වගේ. පොඩ්ඩක් හීරුනත් ඇති කෙල්ල වගේ බෙරිහන් දෙනවා" කියලා.
පස්සෙ නැන්දා බාම් ටිකක් ගාලා දුන්නා.
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න කකුල උලුක් වෙලා හිටිය දර්ශන බයිසිකලයක් පදිනවා.

Wednesday, January 19, 2011

මදුරුවාගෙ කතා -3 (අසරණ මදුරුවා)


මේ අර ඊයෙ කියනවා කියපු කතාව.
ඔන්න මදුරුවා දවසක් උගෙ කෙල්ල හම්බවෙන්න ගිහින්. සාමාන්‍යයෙන් ඌ යන්නෙ උදේටලු.
උන්ගෙ බෝඩිමේ වෙනදා උදේ පාන්දර උයන එක සාමාන්‍ය සිරිතක්.ඒ උනාට එදා උයන්න පටන් ගන්නකොට 8ත් පහුවෙලාලු.කොහොමහරි කනකොට 9 විතර උනා කියමුකෝ. මදුරුවාගෙ කෙල්ල වෙනදා මුනගැහෙන තැනට ඇවිත් ඌට කෝල් කරනවලු.මූට කන්න තියෙනවනම් අනිත් ඔක්කොම අමතක හින්දා මූ ෆෝන් එක සයිලන්ට් කරගෙන කාලා තියෙන්නෙ.
කාලා ඉවර වෙලා කෝල් එකක් ගන්නම් කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නෙ. බලද්දි මිස් කෝල් විසි ගානක් තිබිලා. මදුරුවා ආයෙ ගන්නකොට ෆෝන් එක වැඩ නැතිලු. ඊට පස්සෙ තමයි පොර ඉක්මනට කෙල්ල මුණගැහෙන්න ගිහින් තියෙන්නෙ.
ඒත් අසරණ මදුරුවා ප්‍රමාද වැඩියිලු.
කෙල්ල ආපහු ගෙදර ගිහින්. පැය ගානකට පස්සෙලු ෆෝන් එක ඔන් කරලා තියෙන්නෙ.
ඊට පස්සෙ කෙල්ල කෝල් එකක් අරන් මදුරුවාට බනිනවාලු. මදුරුවත් සෑහෙන්න ට්‍රයි එකක් දීලා ශේප් කරගන්න.
කෙල්ල කියලා හැමදාම මම තමයි ඔයාට කෝල් කරන්නෙ. ඔයා මට කවදාවත් කෝල් කරන්නෙ නෑ.මීට පස්සෙ ඔයා කෝල් කලාට මම ආන්සර් කරන්නෙ නෑ කියලා කෝල් එක කට් කලාලු.
ඉතින් මදුරුවත් ආයෙ කෝල් ගන්නෙ නැතුව පාඩුවේ හිටියලු. ඇයි කෝල් ගත්තොත් ආන්සර් කරන්නෙ නැතිලුනෙ.
දවස් කීපයක් යනකොට ආයෙ කෙල්ලම ඌට කතා කරලා සමාව ඉල්ලගෙන.
මදුරුවත් ගොනා වගේ ඔය කතාව ටිංටිංට කියලා. ඒ කතාව බෝඩිමේ අනිත් උන්ට කිව්වා කියලා තමයි ඌ ටිංටිං එක්ක තරහ වෙලා තියෙන්නෙ.
අද උදෙත් දෙන්නා පොඩි වලියක් ගිහින්.
ටිංටිං කියනවලු මදුරුවට "උඹේ ලමයිනුත් උඹ වගේ උදේ පාන්දර ඉඳන් ඇහැරගෙන ෆේස්බුක් යයි" කියලා.
එතකොට මදුරුවා කියනවලු "උඹේ ලමයි උඹ වගේ ගොන්පාට් දායි. වටාපිටාවෙ එවුන්ට විනෝදාස්වාදය සපයන්න උඹලා ඉන්නවනෙ" කියලා

Tuesday, January 18, 2011

මදුරුවා = කුකුලා


දැන් ටිකකට කලින් ටිංටිං අපේ බෝඩිමට ආවා. අපි ඉතිං නිශාචරයොනෙ. පාන්දර වෙනකම් ජංජාලෙ තමයි.ටිංටිනුත් ඒවගේ තමයි.වෙනදා හදිස්සියක් උනොත් චැට් එකෙන් තමයි කියන්නෙ.
මටයි අවිශ්කයාටයි පුදුමයි ටිංටිං අවේලාවෙ පැමිණීම ගැන. අපි තුන්දෙනා අතර සිදුවූ සංවාදය තමයි මේ.
මම:මොකෝ ටිංටිං මේ කුකුලත් අතින් අරන්
ටිංටිං:  මොන කුකුලෙක්ද යකෝ මේ මහ රෑ
අවිශ්ක: දැන් පාන්දර බං. බලපං වෙලාව
ටිංටිං: ඒ උනාට කුකුලා නිදි බං. ඒක හින්දා මම ඌව තියලා ආවා
අවිශ්ක: කවුද බං කුකුලා?
ටිංටිං: වෙන මොකාද ඉතින් මදුරුවානෙ
මම: මොකක්ද කේස් එක බං
ටිංටිං: උගෙ ලොකු ලයින් බං. ඒකා හැමදාම පාන්දරට නැගිටිනවා.
අවිශ්ක: ඉතිං උඹ ඇයි ඒකට අප්සට් එකේ ඉන්නෙ?
ටිංටිං: ඌ මටත් ඇහැරවනවා බං
අවිශ්ක: ඕක කියන්නද උඹ මෙහෙ ආවෙ?
ටිංටිං: ඌ මාත් එක්ක තරහ උනා බං. හෙට ඉඳන් මට හොඳට නිදාගන්න පුලුවන්
මම: ඒ මොකෝ බං ඌ එක පාරටම තරහ උනේ. ඌ උඹේ වීරයානෙ
ටිංටිං: මම අරයත් එක්ක චැට් කරකර හිටියා. මම වාඩි වෙලා හිටිය පුටුව මදුරුවගෙලු. මම ඒක ඌට දුන්නෙ නෑ කියලා ඌ මට ලොකු ලයින් එකක් දැම්මා.මම උගෙ කතාවක් අනිත් එවුන්ට කිව්වා.
මම: ඔය කොයි කතාවද?
ටිංටිං කියපු ඒ කතාව ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්කො.

කංකුං වගේද ගෝවා


අපේ අවිශ්කයාටත් පුදුම දොලදුක් හැදෙන්නෙ.ඌට මොනවා හරි දෙයක් ඕන උනොත් කොහෙහරි ඇවිදලා හොයාගෙන එනවා. මොනවා හරි වැඩක් පටන් ගනිද්දි එච්චර උනන්දුවක් තියෙන කොල්ලෙක් මේ පැත්ත පලාතක නැතුව ඇති. හැබැයි උගෙ උනන්දුව ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා.අන්තිමේදි ඌව උනන්දු කරවන්න නම් දහ දොලොස් දෙනෙක් එන්න ඕනෙ.
අද ඌට ප්‍රයිඩ් රයිස් කන්න ඕන වෙලා. මගෙන් අහනවා" මචං හුගක් කාලෙකින් ප්‍රයිඩ් රයිස් කෑවෙ නෑ නේද" කියලා.
මමත් ගත් කටටම හා කියලා කිව්වා.
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න අවිශ්කයා මාකට් යන්න ලෑස්ති වෙනවා.
"මම ගිහින් එන්නං" කියපු අවිශ්කයා අඩියට දෙකට යන්න ගියා.
පස්සෙ මෙන්න පොර රයිස් හදන්න බඩුත් අරං එනවා.
"මචං කංකුං තිබ්බෙ නෑ" මූ කියනවා.
"ඒ උනාට මම විකල්පයක් හොයාගත්තා" එහෙම කියපු අවිශ්කයා අතේ තිබ්බ ශොපින් එකෙන් ගෝවා ගෙඩියක් අරන් පෙන්නුවා.
අපි දෙන්නා මේක දාලා රයිස් හදන හැටි අහගන්නත් එක්ක ටිංටිංලගෙ බෝඩිම පැත්තෙ ගියා.
පබිලිස් කියන්නෙ හොඳ කෝකියනෙ. අපි ඉතිං උගෙන් ඇහුවා. ඌ කියනවා වෙනසකටත් එක්ක කියලා ඕක තම්බලා කෑලි වලට කපලා රයිස් එකට දාන්නලු.
ඒ අතරෙ ටිංටිනුයි ඇන්ටයි උයනවා. ඇන්ටා කියනවා ගෝවා ගෙඩිය කපලා තම්බන්නලු. මොකක් හරි කරලා රයිස් එක හදලා ගමු කියලා අපි ආපහු එන්න හදද්දි පබිලිස් අපට කතා කලා.
උන් වර්ල්ඩ් කප් මැච් එකක් බලන්න යන්නලු හිතන් හිටියෙ. ඒ උනාට ටිකට් ඉවරයි. පොඩි පොඩි ටීම් එක්ක ගහන මැච්වල ටිකට් විතරයි ඉතුරු.
මොනවා කරන්නද අපි ඒකක්වත් බලන්න යමු කියලා කියද්දි කොහෙදෝ ඉඳලා මදුරුවා කඩාපාත් උනා.
පබිලිස් මුලසිට සරලව කතාව උටත් කිව්වා.
ඌ කියනවා" අයියෝ ඕක මොකක්ද බං. අපි ඉන්දියාවෙ ගහන මැච් එකක් බලන්න යං. පීනලා යන්න බැරියැ" කියලා.
කංකුං වගේද ගෝවා.

Sunday, January 16, 2011

මදුරුවගෙ කතා -දෙවෙනි කොටස


මදුරුවා හැමෝටම විනෝදාස්වාදය සපයනවා කියලා දන්නවනෙ. ඒත් අපට තියෙන ප්‍රශ්නෙ තමයි සමහර ඒවා ඌ අපට ආතල් දෙන්න සිරාවටම කියන කතාද කියලා. ඒ තරමටම තාත්විකයි.සමහර වෙලාවට ඌ කියන කතා වලට අපි හිනා උනාම ඌත් හිනා වෙනවා. මේ පෝස්ට් එකට මදුරුවගෙ කතා - දෙවෙනි කොටස කියලා නම දැම්මෙ. උගෙ කතා මෙගා ටෙලි නාට්‍යයක් වගේ හින්දා.
වෙලාවට මදුරුවා ඉන්නෙ අල්ලපු වැටේ. අපේ බෝඩිමේ හිටියනං හෙම මටයි අවිශ්කයටයි වෙන්නෙ හැම තිස්සෙම හිනා වෙවී ඉන්න. ටිංටිං ඒ අතිං හොඳයි. ඌ කට පියාගෙන ඉන්නවා. ක්‍රියාවෙන් පප්පුට සමානයි.ඒ අතින් පප්පු තමයි ලොවෙත් ඩයල් එක. ඌ වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් විනෝදාස්වාදය සපයනවා.
ඔන්න දවසක් මදුරුවයි ටිංටිනුයි මුස්ලිම් ගෙදරක් ලඟින් තියෙන පාරක එනවලු. ඒ වෙලාවෙ ඒ ගෙදර වලියක් යනවලු. ගෑනියි මිනිහයි බැන ගන්නෙ සිංහලෙන්ලු.දැන් මදුරුවාට කට පියන් ඉන්න බැරිලු. ඌ ටිංටිංගෙන් අහනවලු "ඇයි මචං අර මිනිස්සු සිංහලෙන් බැනගන්නෙ. උන්ට මුස්ලිම් වලින් බැනගන්න තිබුනනෙ" කියලා.
ආයෙ තව දවසක ටිංටිංට බඩේ අමාරුවක් හැදිලා.උන් එදා ගෙනාපු කෑම අප්සට්ලු.ඊට පස්සෙ පබිලිස් මදුරුවගෙන් ඇහුවලු "මදුරුවා, උඹෙත් බඩ අවුල් ගියාද?"කියලා.
මදුරුවා කියනවලු "කොහෙවත් ගියෙ නෑ බං බඩ එතනමයි." කියලා.
එක දවසක් කොරියා ඇන්ටගෙන් ඇහුවලු "මචං ප්‍රස්තාව පිරුලක් කියපන්කො" කියලා.
මදුරුවා පැනපු ගමන් කිව්වලු "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක් " කියලා.

වාත පොරක්


මේ කතාව මදුරුවා ගැන. පොර පප්පු තරම් නැති උනත් ඉඳලා හිටලා උගෙ ජන්මගතිය පෙන්නනවා.
ඌ ඉන්නෙ ඇන්ටගෙ බෝඩිමේනෙ.දවසක් ඒ බෝඩිමට ඇන්ටගෙ යාලුවෙක් ඇවිත්. යාලුවා ඇන්ටට වෙන පොරක් ගැන කියනවලු.
"ඌ මහ වාත පොරක් බං" කියලා යාලුවා ඇන්ටට කිව්වලු.
මදුරුවට කට පියාගෙන ඉන්න බෑනෙ. ඌ අහනවලු "ඒ වාත පොරක් කියන්නෙ මොකෙක්ද බං? "කියලා.
 ආයෙ දවසක කොරියා රම්පෙ ගෙනල්ලා.රම්පෙ කොල අතරෙ සේර වගේකුත් තිබිලා. මදුරුවා සේර වල සුවඳ බලලා කියනවලු. "ඒ කොරියා උඹ මොනවද බං මේ ගෙනත් තියෙන රම්පෙ ජාතිය. බලපංකො ඒවගෙ හැටි" කියලා.
තව දවසක සෙට් එක කෑම කන්න ලෑස්ති උනාලු.අනිත් වැඩ වලදි මග ඇරියට මොකෝ මදුරුවා කන බොන වැඩ නම් ලේසියකට අත් අරින්නෙ නෑ. හැමදාම පලවෙනියට කන්න දුවගෙන එන මදුරුවාට එදා පොඩ්ඩක් පරක්කු වෙලා. ඉතුරු වෙලා තිබ්බ පිඟාන පොඩියි කියලා ඌ එලවලු උයන හට්ටියකට බත් බෙදාගෙන කාලා.

මදුරුවා ඉංග්‍රීසි කතා කරන්න ගියත් ඔය වගේමයි. දවසක් ටිංටිංට කියනවලු "මචං අයි සෝ අ ගෝස්ට් " කියලා.
ටිංටිනුත් කඩු කාරයානෙ පොරත් ඇහුවලු "වෙයා වෙයා" කියලා.
ඊට පස්සෙ මදුරුවා ටිංටිංව අඬගහගෙන බෝඩිමෙන් එලියට ඇවිත් ඈත ඉන්න එලුවෙක් පෙන්නලා කියනවලු "දැට් ඉස් ද ගෝස්ට්" කියලා.
"ඕ ඉට් ඉස් වෙරි නයිස් ගෝස්ට්" කියලා ටිංටිනුත් කිව්වලු.

Saturday, January 15, 2011

ත්‍රස්තවාදියෙක් සොයා ගියෙමි


ඇබැද්දි වෙනකොට එකපිට එක වෙන්නෙ. මේ සතියම මට අපලයිද කොහෙද.
ඔන්න අද අපේ නවාතැන්පොලට යාලුවො වගයක් එනවා කියලා කිව්වා. මායි අවිශ්කයයි රෑට කන්න පාන් ගේන්න කියලා කඩේට ගියා. පාන් බාගයක් එකෙකුට මදි හින්දා බාග පාන් ගේන්න කියලා තමයි ගියෙ.
කඩේට ගිහින් බලද්දි බාග පාන් හතරයි තියෙන්නෙ. තුන්දෙනෙක් එනවා කිව්වා. ඒක හින්දා තව බාග පාන් එකක් ඕනැනෙ.අපි දෙන්න ගන්දෝ නොගන්දෝ කියලා කල්පනා කර කර ඉඳලා කොහොමහරි තිබ්බ බාග පාන් හතර ගත්තා.
ඉතුරු බාග පාන් ගෙඩිය ගන්න අපි දෙන්නා ටවුම පුරා ඇවිදිනවා.පාරෙ ඉන්න මිනිස්සුත් අපි දිහා බලාගෙන ඉන්නවා. මං බයේ හිටියෙ පොලිසියෙන්වත් ඇවිත් ත්‍රස්තවාදියො ප්‍රවාහනය කරනවා කියලා අපිව අල්ලාගෙනයයි කියලා.
අන්තිමේදි ටවුම පුරා ඇවිද්දත් බාග පාන් ගෙඩියක් හොයාගන්න බැරිවුනා.
ඊට පස්සෙ ඉස්සරලා පාන් ගත්ත කඩේටම ගිහින් ලොකු පාන් ගෙඩියක් ගත්තා. මුදලාලිත් කින්ඩි හිනාවක් දාලා පාන් ගෙඩිය දුන්නා.
පානුත් අරන් එනකොට වයසක සීයා කෙනෙක් හම්බවුනා. ඒ සීයට යන්න බැරුව උදව් කරන්න කියලා කිව්වා.
ඊට පස්සෙ මම ඒ සීයගෙ අතින් අල්ලාගෙන ටික දුරක් එක්කර ගෙන ගියා. අවිශ්කයත් මගෙ පස්සෙන් ආවා. සීයට බස් හෝල්ට් එකට යන්න ඕනෙලු. ඊට පස්සෙ සීයව පාරත් පන්නවලා ටික දුරක් එක්කරගෙන ආවා.
පස්සෙ තමයි වැඩේ තේරුණේ. සීයා කර්පට් වෙන්න බීලා.හොඳටම වෙරි හින්දා පාර හොයාගන්න බැරුව තමයි මේ අපෙන් උදව් ඉල්ලන්නෙ. සීයා බීලා හින්දා තිබ්බ අනුකම්පාවත් අඩුවුනා. අපිටත් පරක්කු වෙන හින්දා සීයට යන පාර කියලා අපි ආවා. අපි හැරිලා එනකොට සීයා අපිට සැලියුට් එකකුත් ගැහුවා.
එන ගමන් අවිශ්කයා කියනවා "ඔය සීයා එක දවසකත් මට හම්බුනා. එදත් මම හෝල්ට් එකට ගිහින් ඇරලුවා. එදත් සීයට හොඳටම වැඩිවෙලා හිටියෙ." කියලා.

Friday, January 14, 2011

දුක හිතෙන කතාවක්


අද කතාව නම් ටිකක් දුක හිතෙන කතාවක්. එක දවසක් මම ගෙදර ඉඳලා ආපහු මගෙ නවාතැන්පොලට එන්න බස් එකට නැග්ගා. මම බස් එකේ වාඩි වෙලා ඉන්නකොට අම්මෙකුයි තාත්තෙකුයි දුවෙකුයි පේමන්ට් එක දිගේ ගියා. දුවට අවුරුදු 10ක් විතර ඇති. අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි.හැබැයි ඒ දෙන්නා හොඳට ඉගෙනගත්තු දෙන්නෙක් වගේ තමයි පෙනුණේ.
දුවට අවුරුදු 10ක් විතර ඇති. දුව අම්මගෙයි තාත්තගෙයි අත් දෙකේ එල්ලිලා පාරෙ යන ගමන් ඒ දෙන්නට එයා දකින දේවල් කියලා දෙනවා. තමන් මේ ලොකේ නොදැක්කට තමන්ගෙ ආදරණීය දියණිය මේ ලෝකෙ දකිනවා ඇති කියලා මේ දෙන්නා සතුටු වෙනවා ඇති.
ඔන්න බස් එක කොලොම්තොටට එන්න පටන් ගත්තා. කිසිම අවුලක් නැතිව බස් එක එනවා. කැලණිය හරියෙදි බස් එකට තරුණයෙක් නැග්ගා.
වෙනදා දකින මිනිස්සු වගේම මොනව හරි කියලා සල්ලි එකතු කරන කෙනෙක් කියලයි මම මුලින් හිතුවෙ.
ඒත් මගෙ සිතුවිල්ල වැරදියි කියලා තේරෙන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ.
ඒ තරුණයාගේ අම්මට හදවත් රෝගයක් තියෙනවලු. එක පාරක් ඔපරේෂන් කරලා. ඊට පස්සෙ දිනපතා බෙහෙත් ගන්න කියලා දොස්තර නියම කරලා. මෙයාට තව නංගියෙක් ඉන්නවලු. තාත්තත් නැතිවෙලා. අම්මා විතරයි ඉන්නෙ.
අම්මව සනීප කරන්න ඕන හින්ද එයා ඉගෙනීම නවත්තලා වේවැල් වලින් එක එක බඩු හදන තැනක වැඩට ගිහින්.
ඒකෙන් දවසකට රුපියල් හාරසීයක් හම්බවෙනවලු. ඒකෙන් අම්මගෙ බෙහෙත් වලටයි නංගිගෙ ඉගෙනීමටයි වියදම් කරගන්න ඇතිලු.
ඒත් එදා අම්මගෙ බෙහෙත් වලට සල්ලි මදිවෙලා. ඉල්ලගන්න කෙනෙක් නැති නිසා තමයි එයා කවදාවත් නැතුව සල්ලි ටික එකතු කරගන්න බස් එකට නැගල තියෙන්නෙ.
මටත් නොදැනීම මගෙ ඇස් වලට කඳුලු ආවා ඒ කතාව ඇහුවට පස්සෙ.
තමන්ගෙ අම්මගෙ ජීවිතේ බේරගන්න කැපවුනු මේ පුතාට මමත් බස් එකේ හිටපු ගොඩක් අයත් තමන්ට පුලුවන් විදියට උදව් කලා.
ඒ වගේ පුතෙක් ලබපු ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි.
ඒ අම්මට දීර්ගායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මීයා කූඹියෙක් වෙලා


සාගර හෙවත් ඇන්ටන් සහ මදුරංග හෙවත් මදුරුවා කියන්නෙ මගෙ අසල්වාසියො. ඒකෙ ඒ දෙන්නයි තව තුන්දෙනෙකුයි තමයි ඉන්නෙ.ටිංටිං හෙවත් උදාර එතකොට පබිලිස් හෙවත් නිරොශන් සහ කොරියා හෙවත් චාමික තමයි මේ බෝඩිමෙ ඉන්න පිරිස.
දවසක් උන්ගෙ බෝඩිමේ මීයෙක් මැරිලා. පැත්ත පලාතෙ ඉන්න බැරිලු. ඇන්ටගෙ කාමරේටලු වැඩියෙන් ගඳ දැනෙන්නෙ. ඊට පස්සෙ ඌ  කාමරේ පුරාම සෙන්ට් ගහගෙන හිටියලු.
ඒත් හරියන්නෙම නෑලු.
ඊට පස්සෙ ඌ අල්ලපු කාමරේ ඉන්න මදුරුවාට කිව්වලු. මදුරුවත් හා මම ඌව හොයාගන්න උදව් කරන්නම් කියලා හිටියලු.
ඇන්ටට දැන් හෙන ෆිට්ලු. තනියෙන් කරගහන්න ගිය වැඩේට තව එකෙක් හවුලට ඉන්නවනෙ.
ටික වෙලාවකට පස්සෙ බලද්දි මෙන්න මදුරුවා  කොහෙදෝ යන්න ලෑස්ති වෙනවලු.
කොහෙද යන්නෙ බං කියලා ඇන්ටා ඇහුවලු.
එතකොට මදුරුවා කියනවා "මම මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මීට් වෙන්න යන්න හදන්නෙ බං" කියලා.
"අඩේ අරක අදින්න උදව් වෙන්න බැයිද?" කියලා ආයෙමත් ඇන්ටා ඇහුවලු.
"මම ඉක්මනට ගිහින් එන්නම්. එතකං පොඩ්ඩක් හිටපං" කියලා මදුරුවා ටක් ගාලා එතනින් කැපුනලු.
දැන් ඇන්ටට කරගන්න දෙයක් නැතිලු. බැරිම තැන ඇන්ටා ගිහින් අනිත් එවුන් තුන්දෙනාට කිව්වලු.
හැබැයි ඒ කියලා තියෙන්නෙ අර මදුරුවට කිව්ව වගේ නෙමේ.
"අඩේ  උඹලට ගඳක් එන්නෙ නැද්ද?" කියලා අහලා.
පබිලිසුයි ටිංටිනුයි ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවලු. ඊට පස්සෙ කොරියා අහලා "නෑනෙ බං. කොහෙන්ද ගඳ එන්නෙ?" කියලා.
දැන් ඇන්ටට මලලු. "උඹලට ඉතිං ඕවා ගාණක් නෑනෙ. බෝඩිම ඇතුලෙ අලියෙක් මැරිලා හිටියත් උඹලට දැනෙන්නෙ නෑනෙ" කියලා ඇන්ටා කියවනවලු.
"හරි හරි  අපි එන්නම්කො හොයන්න" කියලා පබිලිස් ඇන්ටව ශේප් කලාලු.
මෙන්න ටික වෙලාවකට පස්සෙ ඇන්ටා ඇවිත් කියනවලු. "මචං යාලුවෙක් හදිස්සියක් කියලා කෝල් එකක් දුන්නා. මම ටක් ගාලා මොකද කියලා බලලා එන්නම්. එතකං උඹලා පොඩ්ඩක් අර ගඳ එන්නෙ කොහෙන්ද කියලා හොයලා බලපල්ලකො" කියලා.

දැන් ඇන්ටත් මාරුලු. දැන් අනිත් උන් තුන්දෙනාට මලලු. අපිට ගඳ දැනෙන්නෙ නෑනෙ කියලා උන් තුන්දෙනා පාඩුවෙ හිටියලු.
ටක් ගාලා එන්නම් කියලා ගියපු දෙන්නා මෙන්න රෑ අටට විතර එනවලු.
කාමරේට ආවා විතරයි ඇන්ටට අර ගඳ ආයෙත් ආවලු.
ඌ ටිංටිං ලඟට ඇවිත් අහනවලු "උඹලා අර ගඳ එන්නෙ කොහෙන්ද කියලා හොයාගත්තෙ නැද්ද? මොනවද බං උඹලා මෙච්චර වෙලා කරේ?" කියලා.
ටිංටිනුත් ඇඟට පතට නොදැනී කියනවලු "උඹේ කාමරේ කූඹියෙක් මැරිල හිටියා බං. අපි ඌව වැලලුවා" කියලා.

Thursday, January 13, 2011

මට තවත් ඇබැද්දියක්...


අද බොහොම සීතල දවසක් නොවැ. ඉන්දියාව පැත්තෙන් සීතල දියවැලක් එනවලු.
ඊයෙත් නවාතැන්පොලට එන්න රෑ බෝවෙච්ච හින්ද නාගන්ට බැරි උනා.
ඒ හින්දා අද හැන්දැ කොරේ නාගන්ට කියලා සෙට් උනා.
නාන්න පටන් අරන් වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න බොලේ ෂවර් එකෙන් වතුර එන එක නැවතුනා.
එතකොට තමයි මට මතක් උනේ අවිශ්කයා වතුර ඉවරයි කියලා කරාමෙ ඇරියෙ පොඩ්ඩ වෙලාවකට කලින් කියලා.
දැන් ටැංකියට වතුර පිරෙනකං මෙහෙම ඉන්නයැ.
මම සබන් ගාගන්න පටං ගත්තා.
ටික වෙලාවක් සබන් ගගා ඉඳලා ආයෙ ටැප් එක ඇරියා.
මෙන්න බොලේ ඒ පාර වතුර එනවා.
මාත් ඉක්මනට ෂවර් එක යටට ඔලුව ඇල්ලුවා. මගේ අහිංසක බලාපොරොත්තුව බිඳෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ආයෙ පාරක් වතුර නැවතුනා. කකුල් වල තාම සබන් හේදිලත් නෑ. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා හිතාගෙන මාත් ඉවසගෙන හිටියා.
දැන් මම වතුරෙන් ගොඩට ගත්තු මාලුවා වගේ ගැහෙනවා. මාර සීතලක්නෙ අද තියෙන්නෙ. ඒ මදිවට සීතල හුලං පාරවලුත් වදිනවා. දැන් මගෙ දත්ටික කට කට ගාලා එකට වදිනවා.
අවිශ්කයාට කිව්ව නම් ඌ වතුර බාල්දියක් වත් අරන් එයි.ආවත් මට ආයෙ පාරෙ බැහැල යන්න බැරිවෙන තරමෙ මඩ පාරවල් ගොඩක් ඌ වටාපිටාවටම බෙදයි.
ඒ හින්දා මම සීතල කාගෙන හිටියා.
පොඩ්ඩක් වෙලා යනකොට යාන්තං වතුර පොඩ්ඩක් ආවා. මම ඒ ටිකෙන් කකුල් දෙක හෝදගෙන ආවා. හෙට මට හෙම්බිරිස්සාවවත් හැදෙයිද මන්දා.

මැරියන් කුමාරිව බේරගන්න හැටි


මේ කතාව අපේ පුංචිගෙ පොඩි පුතා ගැන. එයාගෙ නම ශෂිත. දැන් ඉන්නෙ අට වසරෙ.මිනිහා ගේම් පිස්සා. මම නිවාඩුවට ගෙදර ආවොත් එහෙ එන්න කියලා වදේ. මීට මාස කීපෙකට කලින් එයාගෙ අයියා පොරට කොම්පියුටර් එකක් ගෙනල්ලා දීලා.
ඒකට අලුත් ගේම් ටිකක් දාගන්න මනුස්සයා පුදුම ආසාවෙන් හිටියෙ. මම එක දවසක් එහෙ ගිහින් රොබින් හුඩ් ද ලෙජන්ඩ් ඔෆ් ශර්වුඩ් ගේම් එක ඉන්ස්ටෝල් කරලා දුන්නා.
මට මතක හැටියට ඒකෙ තුන්වෙනි ලෙවල් එකේ මැරියන් කුමාරිව බේරගන්න තියෙනවා.
මම ඒ ගේම් එක දීලා දැන් මාස ගානක්. පොර ගේම් එක ගහලා ගහලා තුන්වෙනි ලෙවල් එකෙන් උඩට යන්න බැරිවෙලා.
ඒත් උත්සාහෙ අත ඇරලා නෑ. අද මට කෝල් කරලා. ආයෙ මැරියන් කුමාරිව බේරගන්න හැටි අහගත්තා. 
මම මේ පෝස්ට් එක ලියන අතරෙ මෑන් මැරියන් කුමාරිව බේරගෙන, දැන් ලිට්ල් ජෝන්ව බේරාගන්නලු හදන්නෙ.
දැන් නම් පොර ගේම් එක ගහන හැටි අල්ලගෙන වගේ.
තව ටිකකින් ආයෙ කෝල් එකක් දෙයිද කියන්නත් බෑ. 
අද පුංචිලටත් මැරියන් කුමාරිව බේරගත්ත හැටි කියලාදෙයි. 
සමහර විට හෙට පන්තියෙ යාලුවන්ටත් මැරියන් කුමාරිව බේරගත්ත හැටි කියලා දෙයි.
මැරියන් කුමාරිව බේරගන්නෙ මෙන්න මෙහෙමයි.
ටක්ව ගැට ගහලා පල්ලියෙ කාමරයක් ඇතුලෙ හංගන්න ඕනෙ. ඊට පස්සෙ එතන තියෙන කුටියට රොබින්ව යැව්වනම් මැරියන් කුමාරි එතෙන්ට එනවා.
හැබැයි ඊට කලින් නගරෙ ඉන්න සෙබලු ඔක්කොම මරලා ඉන්න ඕනෙ.
ඊට පස්සෙ මැරියන් කුමාරිව ශර්වුඩ් වලට එක්කරගෙන යන්න පුලුවන්.
කාටහරි මැරියන් කුමාරිව බේරගන්න ඕනෙනම් මෙතනින් ගේම් එක බාගන්න.

Wednesday, January 12, 2011

පප්පු සහ පණ්ඩු...


පප්පු කියන්නෙ මගෙ හොඳ මිත්‍රයෙක්. ඒ වගේමයි පණ්ඩුත්. අද අපි තුන්දෙනාට Exam එකක් තිබුනා.ඔන්න ඉතින් මමයි පණ්ඩුයි Exam එක ලියන්න යන්න බස් හෝල්ට් එකට ඇවිත් හිටියා. පප්පු පොඩ්ඩ්ක් පරක්කුයි. අපි මිනිහා පරක්කු මොකද කියලා බලන්න යන්න හදදිම වගේ පප්පුත් හෝල්ට් එකට කඩාපාත් උනා.
පප්පු තමයි Exam එක තියෙන තැනට යන්න පාර දන්නෙ.ඒක හින්ද අපි පප්පුව පොඩ්ඩක් උඩින් තියලා හිටියෙ. දැන් පප්පුගෙ පොර ටෝක් ගොඩයි.ඌ පාර දන්න හින්දා ඌට ටිකට් ගන්නලු. ඔය වගේ එක එක ටෝක් දෙනවා බේරන්න බෑ.
ඔහොම ඉන්නකොට බස් එකකුත් ආවා. අපිත් දඩ බඩ ගාලා බස් එකට නැගගත්තා.පොඩ්ඩක් දුර යනකොට වාඩිවෙන්න සීට් එකකුත් හම්බ උනා. මට පිටිපස්සෙ සීට් එකේ පප්පු වාඩි උනා. පණ්ඩු වාඩි උනේ පිටිපස්සෙම සීට් එකේ.
ඔහොම ටිකක් දුර යනකොට බහින්න හෝල්ට් එක ලඟයි කියලා පප්පු මට කිව්වා.බස් එකේ සෙනග පිරිලා හැරෙන්නවත් ඉඩ නෑ. කොහොමහරි අපි දෙන්නම පිටිපස්සෙ දොර ලඟට කිට්ටු උනා. පණ්ඩු පේන්න නෑ. අපි පොඩ්ඩක් හොයලා බලද්දි පණ්ඩු සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. පණ්ඩුගෙ ඔඩෙක්කුවෙ තව මිනිහෙක් වාඩිවෙලා. පණ්ඩුවාට හැරෙන්නවත් විදියක් නෑ.
ඔය අතරෙ බස් එක නැවැත්තුවා. මම පප්පුගෙන් ඇහුවා මෙතනින් බහින්නෙ නැද්ද කියලා. ඌ වටපිට බලලා කියනවා. " තව ටිකක් දුර තියෙනවා වගේ. මටත් හරියට මතක නෑ" කියලා.
මට ඉතිං කියන්න හොඳ එකක් කටට ආවත් බස් එකේ හින්දා මම කට පියාගෙන හිටියා. ඉස්සර වෙලා පොරටෝක් දුන්නෙ නම් කොහොමද හැමදාම Exam එක තියෙන තැනට එනවා වගේ.
බස් එකේ ෆුට්බෝඩ් එකෙත් සෙනග පිරිලා. කොන්දත් පප්පුවගෙම ජාතියෙ එකෙක්. ඌ කියනවා ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්න හින්ද බස් එක අද්දන්නෙ නැතිලු.
කොහොම හරි තව හෝල්ට් දෙකක් විතර පහුවුනාට පස්සෙ මායි පප්පුයි බස් එකෙන් බැස්සා. ඊට පස්සෙ පණ්ඩුත් අර මිනිහව ඔඩෙක්කුවෙන් නැගිටිටවලා යාන්තම් බස් එකෙන් පැනගත්තා.
බස් එකෙන් බැස්සට පස්සෙ තමයි අපට තරු පෙනුනෙ.
පප්පුවා අපිව බස්සවලා තියෙන්නෙ හෝල්ට් එකක් මෙහා පැත්තෙ.
වෙලාව බැලුවට පස්සෙ තමයි අපේ තරහ දෙගුණ තෙගුණ උනේ.Exam එක පටන්ගන්න තියෙන්නෙ තව විනාඩි දහයයි.
වෙලාව බැලුව විතරයි පප්පුවා පණ කඩාගෙන දුවන්න පටන්ගත්තා. මායි පණ්ඩුවයි දෙන්නත් උගෙ පස්සෙන් දිව්වා.
කොහොමහරි යාන්තම් Exam එක පටන් ගන්නකොටම වගේ අපිත් එතෙන්ට සෙට් උණා.
පස්සෙ බලද්දි පප්පු නෑ. අපි දෙන්නා දැන් වාඩිවෙලා ඉන්න ගමනුත් පප්පු එනවද කියලා බලනවා. මොනවා උනත් අපිත් එක්ක ආපු එකානෙ.
යාන්තම් විනාඩි පහකට විතර පස්සෙ පප්පු Exam හෝල් එකට ආවා. ආපහු එනකොට තමයි පප්පු පණ කඩාගෙන දුවපු හේතුව හොයා ගන්න ලැබුනෙ. පප්පුට පොඩි කක්ක බරක් හැදිලා. අපට කියන්න තරම්වත් වෙලාවක් තිබිලා නෑ.

Tuesday, January 11, 2011

මට වෙච්ච ඇබැද්දියක්


මේක මට වෙච්ච කතාවක්. මට මේ ලඟදි දවසක අසනීප වෙලා බෙහෙත් ගන්න කියලා ඉස්පිරිතාලෙට ගියා.
ඉස්පිරිතාලෙ ලඟමයි බස් එක නවත්තන්නෙ. ඔන්න ඉතින් මම බස් එකෙන් බැහැල හෙමිහිට පාර දිගේ එනවා.
ඉස්පිරිතාලෙ ගේට්ටු දෙකක් තියෙනවා. මෙන්න බොලේ එකක් කවදාවත් නැතුව වහලා. මම ඒ පැත්ත බලලා හැරෙද්දිම දඩාස් ගාල සද්දයක් ඇහුණා.
බැලින්නම් වාහන නැවතීම තහනම් කියලා ගහපු බෝඩ් එකක් මගෙ ඇඟේ වැදිලා. මට ඒක දැනුනත් මම නෙවේ වගේ හිටියා. ශේප් එකේ ඒක හිටවන්න හැදුවත් හරිගියේම නෑ. ටික වෙලාවක් ගියාට පස්සෙ යන්තම් වැඩේ හරිගියා. මම ඊට පස්සෙ තමයි ඔලුව උස්සලා බැලුවෙ.
 හතර විලිලැජ්ජාවයි.
වටේ පිටේ සෙනග ඔක්කොම හිනාවෙවී මගෙ දිහා බලාගෙන. එපා කියන්නයැ. මම බිම බලාගෙනම ඉස්පිරිතාලෙ ඇතුලට ගියා.
කොහොම හරි කට්ට කාල පෝලිමේ ඉඳලා දොස්තර මහත්තයා ගාවට ගිහින් බෙහෙත් ටික ලියවගත්තා කියමුකො.දැන් බෙහෙත් ටික ගන්නත් එපායැ. ඔන්න මම බෙහෙත් දෙන තැනට ගියා.
එතන පෝලිම් දෙකයි. එකක සෙනග පිරිලා. අනිත් එකේ කීප දෙනයි හිටියෙ. මාත් ආයෙ බලබල හිටියෙ නෑ. හිටගත්තා ගිහින් අර සෙනග අඩු පෝලිමේ. මෙන්න බොලේ ටික වෙලාවක් යද්දි අනිත් පෝලිමේ හිටපු ඈයො හිනාවෙනවා. මම පොඩ්ඩක් වටපිට බැලුවා....
බැලින්නම් මම හිටගෙන තියෙන්නෙ වැඩිහිටි පෝලිමේනෙ.
ආයෙ පාරක් චාටර් උනා. කොහොම හරි දෙපාරක්ම චාටර් වෙලා තමයි බෙහෙත් අරන් ආපහු ආවෙ.

Sunday, January 9, 2011

කරු මාමා....

කරු මාමා කියන්නෙ අපේ ලොකුනැන්දා බැඳලා ඉන්න මාමා.එයා හිටපු පියුන් කෙනෙක්. දැන් නම් පැන්ෂන් ගිහිල්ලා. එයාගෙ නම කරුණාරත්න.ඒකයි කරූ කියන්නෙ.මෙයාගෙත් කතා ගොඩක් තියෙනවා.මේ ඒවගෙන් එකක්. ඉතුරු ඒවත් මම හෙමිහිට එකින් එක දාන්නම්කො.සමහරවිට අලුත් කතා එකතු වෙන්නත් ඉඩ තියෙනවා.
කරු මාමා ගොඩක් දවස් වලට හැන්දෑවට පොඩ්ඩක් සරුවෙලා කන සාක්කුවෙ දාගෙන තමයි ගෙදර එන්නෙ.

එක දවසක් අපේ බාප්පලාගෙ ගෙදර උත්සවයක්  තිබුනා.මෙයාටත් උත්සවයක් තිබුනොත් අනිවා එන්න කියනවා.
ඔන්න ඉතින් මෙයා කුකුලත් අතින් අරන්ම ආවා. ලොකු නැන්දත් එයත් එක්කම ආවා. මේ අය කෙලින්ම එන්නෙ ආච්චිලගෙ ගෙදරට. ඊට පස්සෙ තමයි අනිත් ගෙවල් වල යන්නෙ.
උත්සවේකට එනකොට ලොකු නැන්දා කරු මාමට  warning එක දීලා තමයි එන්නෙ. ඒ උනාට කරු මාමා ලොකු නැන්දා කියන දේවල් තඹේකට මායිම් කරන්නෙ නෑ. එක කනකින් අහලා අනිත් කනෙන් පිට කරනවා.
ඔන්න ඉතින් දෙන්නා උත්සවේට ගියා කියමුකෝ. කරු මාමගෙ හිත අඩියක් ගහන්නමයි.
කරු මාමත් වටපිට බලලා හෙමිහිට කට්ටිය බොන තැනට ලංවුනා.එතන හිටපු අනිත් අයත් එක්ක කතා කර කර ඉන්න ගමන් එතන තිබුන කාලෙ බෝතලේකුත් සාක්කුවෙ දාගෙන හෙමිහිට පහල තිබුණ අපේ ගෙදර පිටිපස්සට ගියා.
එදා හවස මම ගෙදර ඉන්නකොට අපේ අම්මා තනියෙන් කාටදෝ බනිනවා. බැලින්නම් කරු මාමා අපේ ගේ වටේ අරක්කු බෝතල් හංගලා.
ඊට පස්සෙ අම්මා බෝතල් ටික විසිකලා.
ටික වෙලාවකට පස්සෙ කරු මාමා අපේ ගේ වටේ කැරකෙනවා දැක්කා. ගේ වටේම හොයලා අරක්කු බෝතල් නැති නිසා බැන බැන යන්න ගියා.
පැය කීපෙකට පස්සෙ ලොකු නැන්දා අඬ අඬ අපේ ගෙදර ආවා.කරු මාමා අත කඩාගෙන වෙද මහත්තයා ගාවට එක්ක ගිහිල්ලා.
අපි ඇහුවා අත කැඩෙන්න හේතුව මොකක්ද කියලා.
ලොකු නැන්දා කියනවා බාප්පලාගෙ ගෙදර ඉඳන් ආච්චිලාගෙ ගෙදර යනකොට දෙල් ගෙඩියක් පෑගිලා වැටිලලු අත කැඩිලා තියෙන්නෙ.
ඒ උනාට පැත්ත පලාතක දෙල් ගහක් නෑ. මම ඔය කතාව ලොකු නැන්දත් එක්ක කියන්න ගියෙ නෑ.

මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ....


මහ වැස්සට ඇල දොල පිරිලා යන්නේ
පස් කඳු පිටින් පොලවට ඇදිලා එන්නේ
අසරණයින් ඒ පස් යට වැලලෙන්නේ
දෙවියනි බලන් අපහට මොනවද වෙන්නේ

සීතල ඇවිත් මගෙ ගත වට දැවටෙනවා
මදුරුවො ඇවිත් මගෙ කන වට කැරකෙනවා
රෙද්දක් පෙරව ගන්නට මට සිත්වෙනවා
තව ටිකකින් මම හොඳටම නිදියනවා

පාර පුරා වතුර ගලා පාර කැඩිල යන්නේ
පාර හදපු මාමලාගෙ අම්මල සිහිවන්නේ
අපේ පාරෙ බස් එක නෑ හෙට උදේට එන්නේ
මම කොහොමද හෙට උදේට කොලොම්තොටට යන්නේ

Saturday, January 8, 2011

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයවේවා....!


කිරිපුතා කියන්නෙ මැච් පිස්සෙක්. ලංකාව ගහන ටෙස්ට් මැච් එකක් පවා බලනවා. ඒ වගේම ටීවි එකේ පරණ මැච් එකක් පෙන්නුවත් ඒකත් බලනවා. IPL මැච් එකක් වත් අතාරින්නෙ නෑ. මැච් එකක් බලන්න තියෙනවා නම් ආයෙ කෑම ඕනෙත් නෑ. ඊයෙ ලෝක කුසලානෙට සහභාගි වන 15දෙනාගෙ සංචිතය නම් කලා කියලා ඔයගොල්ලො දන්නවානෙ.
පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් තිබුණා. අපේ මන්ත්‍රීතුමයි, වාස් සහ රන්දිව් නැති එක තමයි අඩුපාඩුව. මන්ත්‍රීතුමා නම් දැන් පැන්ෂන් යන කාලෙත් පහු කරලා කියලා තමයි ගොඩක් අය කියන්නෙ.
වාස් සහ රන්දිව් නැති එක නම් අඩුපාඩුවක් කියලයි මගෙ නම් හැඟීම. කොහොම උනත් අපේ කොල්ලො ලෝක කුසලානෙ ගන්නවානම් එච්චරයි. අපි ශ්‍රීලාංකිකයො හැටියට අපේ උපරිම සහයෝගෙ දක්වමු. ආයෙ පාරක් අපේ මව්බිමට ලෝක කුසලානෙ ගේන්න අපේ සිංහ පැටවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ කිරිපුතා මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා.

Friday, January 7, 2011

ප්‍රින්සිපල් අපේ නම් දැනගත්ත හැටි.....


ප්‍රින්සිපල් පන්තියෙන් ගියාට පස්සෙ අපි දෙන්නා පනික්කුවා ලඟට කිට්ටු උනා. අපි පොරගෙන් උනේ මොකක්ද කියලා ඇහුවා. පනික්කුවා සද්ද නෑ. කොච්චර ඇහුවත් කියන්නෙම නෑ.
අපි ඒත් වැඩේ අත ඇරියෙ නෑ. පනික්කුවා නැති උනාට මොකෝ මේ බන්ඩි ඉන්නෙ. බන්ඩිගෙන් ඇහුවා විතරයි.බන්ඩි කතාව මුල සිට සරලව පටන් ගත්තා.
අපි දෙන්නා දුවගෙන එනකොට පනික්කුවත් අපි පස්සෙම දුවගෙන ඇවිල්ලා.ඒත් ටිකක් දුර දුවගෙන එනකොට තමයි පොරට මතක් වෙලා තියෙන්නෙ බන්ඩියා නෑ කියලා. පොර ආපහු ගිහින් බලනකොට බන්ඩියව ප්‍රින්සිපල් අල්ලාගෙන ඉන්නවලු.පනික්කුවා ගියපු ගමන් ප්‍රින්සිපල්ට වඳින්න පටන් ගත්තලු.
"අනේ බුදු සර්,අපට සමාවෙන්න" කියලා.
ඊට පස්සෙ ප්‍රින්සිපල් කියනවලු.
"හා හා පුතා, ඔය වැන්දා ඇති නැගිටින්න" කියලා.
මේක දකින බන්ඩියට හිනාව නවත්තගන්න බැරිලු. ඒත් ඉතින් මෙතන හිනා වෙන්නයැ. බන්ඩියා හිනාව කාගෙන හිටියලු.
අන්තිමේදි ප්‍රින්සිපල්ටයි අනිත් සර්ලටයි ඔක්කොමලටම හිනාලු. ඊට පස්සෙ උන් දෙන්නගෙන් අපේ නම් දෙක අහගෙන තමයි ප්‍රින්සිපල් පන්තියට ඇවිත් තියෙන්නෙ.

අපේ කරු මාමට වෙච්ච සිද්දියක් ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්කො.
ඔයාල බලයි මොකක්ද මේ දාලා තියෙන පින්තූරෙ, ඒක මේ පෝස්ට් එකට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑනෙ කියලා. මේ පින්තූරෙට හරියන කතාවක් තමයි ඊලඟට දාන්නෙ.
ඇත්තම කියනවනනම් මේ පෝස්ට් එකට හරියන පින්තූරයක් හොයාගන්න පැය ගාණක් ට්‍රයි කරත් උත්සාහය අත් අරින්න සිද්ධ උනා.

Thursday, January 6, 2011

වන් බම්ප් ගහපු හැටි...........


මේක මම සිස්සස්සෙ පාස් වෙලා ලොකු ඉස්කෝලෙ යනකාලෙ වෙච්ච වැඩක්. මට මතක හැටියට ඒ කාලෙ මම හිටියෙ දහයෙ පන්තියෙ. අපිට එදා නැටුම් තිබුණු පීරියඩ් එකක තමයි මේ සිද්දිය වුනේ.ඒ කාලෙ අපි නැටුම් තමයි ආසාවෙන්ම කරපු විෂය.ඒ මොකද දන්නවද? නැටුම් කියන්නෙ අයිස් ලෝකයක්. අපි නැටුම් පන්තියට යන්නෙ හරියට අවාරෙට අඹ වැටෙනවා වගේ.අනිත් හැම දවසකම අපි හිටියෙ පිට්ටනියෙ.ඒක නිසා අපේ පන්තියෙ  කොල්ලො ගොඩක් නැටුම් තෝරගෙන තිබුණා.
ඔන්න ඉතින් පුරුදු විදිහට අපි එදත් නැටුම් පීරියඩ් එක කට් කලා.ඊට පස්සෙ පිට්ටනියෙ පැත්තක වන් බම්ප් ගහන්න සෙට් උනා.(වන් බම්ප් ගහන එක ඉතින් හැම කොල්ලම දන්නවනෙ.) මොකද එදා අපේ සෙට් එකේ හිටියෙ කොල්ලො හතර දෙනයි.
අපි ඉතින් සමගියෙන් සමාදානයෙන් වන් බම්ප් ගහ ගහා හිටියා. මම හිටපු සෙට් එක ගැන ඔයාලට කිව්වෙ නෑනෙ. එදා අපේ සෙට් එක උනේ මම නොහොත් කිරිපුතා, කසුන් නොහොත් ටික්කා, දිනේශ් නොහොත් බන්ඩියා සහ තවත් දිනේශ් කෙනෙක් වන පනික්කුවා.
ටික වෙලාවකින් පනික්කුවා ගහපු ශොට් එකකට බෝලෙ ඈතට විසිවුනා.ඒ අසල කලාපයේ පන්දු රකිමින් සිටි පන්දු රකින්නා වන ටික්කා වේගයෙන් පන්දුව කරා හඹා යන්න පටන්ගත්තා.........
බෝලෙ අහුලා ගත්තා විතරයි.ටික්කා බෝලෙ පස්සෙන් පන්නපු වේගෙටත් වඩා වැඩි වේගෙකින් අපි හිටපු තැනට දුවගෙන ආවා.
"පෙත්තා........ පෙත්තා..........."
ටික්කගෙ මුවින් පිටවුනේ ඒ වචන කිහිපය පමණයි.
අපි ඔලුව හැරුණු අතේ දුවන්න ගත්තා.
(දැන් මට කතාවට පොඩි බාධා කිරීමක් කරන්න සිද්ධ වෙනවා. පෙත්තා කියන්නෙ කවුද කියලා හඳුන්වා දෙන්නත් ඕනනෙ. පෙත්තා කියන්නෙ අපේ ඉස්කෝලෙ  නියෝජ්‍ය විදුහල්පතිතුමා.ඒ සර්ගෙ නහය ගිරා හොටයක් වගේ. ඒක නිසයි පෙත්තා කිව්වෙ.)
මායි ටික්කයි පොඩ්ඩක් ඉස්සරහට දුවගෙන ගියා විතරයි. මෙන්න අපේ ප්‍රින්සිපල් බකමූණෙක් වගේ ඔරවාගෙන කණ්ඩියක් උඩ හිටගෙන ඉන්නවා.
මොනවා කරන්නද? අපි දෙන්නා දුවපු වේගෙටත් වඩා වැඩි වේගෙකින් ආපහු  හැරුණා. හැරිලා ලඟ තිබ්බ ඉලුක් ගාලක් අස්සෙන් රිංගලා දුවලා පන්තියට ඇවිත් වාඩිවුනා. අපේ වෙලාවට පන්තියෙ ලමයි ටික දෙනෙක් හිටියා. අපි වාඩි වෙලා හති ඇර ඇර ඉන්නකොට ටික වෙලාවකින් පනික්කුවයි, බණ්ඩියයි ආවා.උන් දෙන්නා වාඩිවෙලා වැඩි වෙලාවක් ගියේ නෑ.
මෙන්න ප්‍රින්සිපලුත් පන්තියට ආවා......
"කිරිපුතා......
කසුන්......."
අපි දෙන්නා දැන් වතුරෙන් ගොඩ දාපු මාලුවො දෙන්නෙක් වගේ. වෙවුල වෙවුල නැගිට්ටා.
"ඔය ලමයි ඇයි මේ වගේ වැඩ කරන්නේ. බලන්න ඔය වගේ වැඩ කරපුවාම ඔය ලමයින්ගෙ පෞර්ශයට හානිවෙනවා. තේරුණාද?"
ප්‍රින්සිපල් එහෙම කිව්වා.
අපිට නම් පීරියඩ් කට් කලාම පෞර්ශයට හානි වෙන්නෙ කොහොමද කියලා තේරුණේ නෑ.ඒ උනාට,
"තේරුණා සර්.........."
කියලා අපි ශේප් වුනා.
ඊට පස්සෙ ප්‍රින්සිපල් පන්තියෙන් යන්න ගියා. ඒ උනාට අපට එක ප්‍රශ්නයක් ඉතුරු උනා.
ප්‍රින්සිපල් කොහොමද අපේ නම් දැන ගත්තේ........?
ඒ කතාව ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්කො.

Tuesday, January 4, 2011

පොල්කට්ටා..... දෙවෙනි කොටස


මම කලින් පෝස්ට් එකේදි පොරොන්දු උනානෙ පොල්කට්ටගෙ ඉතුරු කොටස කියනවා කියලා. පලවෙනි කොටස බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ඒක බලන්න.
ඔන්න එක දවසක් වසන්ත අයියයි ලලිතුයි ගඟට නාන්න යනවා. එදා මට යන්න බැරිවුනා. සාමාන්‍යයෙන් අපි නාලා එන ගමන් ඒ ලඟ තියෙන බේකරියෙන් උණු උණු පාන් අරන් කකා තමයි එන්නේ. උණු පාන් වඩේ එක්ක කනකොට මරු.
එදා සිරිපාල හෙවත් පොල්කට්ටා පාර අයිනේ ඉන්නවලු. මනුස්සයා මොකක් හරි වැඩක් කර කර ඉඳල තියෙන්නෙ.

පාර අයිනෙ පොල්කට්ටකුත් තිබුනලු......
වසන්ත අය්යා ලලිත්ට රහසින් කිව්වලු අර පොල්කට්ටට පයින් පාරක් ගහන්න කියලා. ලලිතත් ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව දුන්නලු හොඳ පයින් පාරක්.
පොල්කට්ට රෝල් වෙලා ගිහින් සිරිපාල ලඟ නැවතුනාලු. සිරිපාල ටිකක් වෙලා ලලිත් දිහා බලන් හිටියලු. ඊට පස්සෙ ලලිත්ගෙ අම්මටයි තාත්තටයි හොඳටම ඇමතුවාලු. දැන් වසන්ත අයියට හොඳටම හිනා යන්න එනවලු වෙච්ච වැඩේට. මොනව කරන්නද කියලා වසන්ත අයියා හිනාව කාගෙන හිටියලු.
සිරිපාල බැනලා ඉවර වෙලා වසන්ත අයියා ලඟට ඇවිත් කියනවලු.
"බලන්න මහත්තයා මුගෙ තියෙන නැහැදිච්චකම. මට හම්බවෙයිනෙ ඕකගෙ තාත්තා. ඒකට ඔය මහත්තයා කොච්චර හොඳද?"
වසන්ත අයියත් කට වහගෙන හිටියලු. ලලිත්ගෙ මූණ දිහාවත් ටික වෙලාවක් යනකල් බැලුවේ නැතිලු. මොකද ලලිත්ගෙ මූණ දැකපු හැටියෙ හිනායනවා කියලා තමයි වසන්ත අයියා අපිත් එක්ක කිව්වෙ.

අපි වන් බම්ප් ගහපු හැටි.... ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්කො.

Sunday, January 2, 2011

පොල් කට්ටා.......

අපේ ගමේ ඉඳලා කිලෝමීටරයක් විතර යනකොට ගඟක් හම්බවෙනවා. ඒ ගඟ ලඟ තිබුණු ගෙදරක තමයි සිරිපාල නොහොත් පොල්කට්ටා ජීවත් වුණේ.මනුස්සයට අවුරුදු 60ක් විතර ඇති.දුප්පත් මනුස්සයෙක්.පොඩ්ඩ ඇත්නම් කේන්ති යන එක තමයි තියෙන අඩුපාඩුව.
අපේ ගෙවල් ලඟ ඉන්නවා වසන්ත කියලා අයියා කෙනෙක් ඒ අයියයි තව අපේ පන්තියේ හිටපු ලලිත් කියලා කොල්ලෙකුයි තමයි මේ කතාවේ කතා නායකයො.

මේ සිරිපාලට පොල්කට්ටා කියලා කිව්වොත් ඉතින් අම්මා මතක් කරලා තමයි බනින්නෙ. හේතුව නම් මොකක්ද කියලා කියන්න මම හරියටම දන්නෙ නෑ. එක දවසක් අපි ගඟේ නානකොට ඒලඟ තිබුණ පාලමක් උඩ සිරිපාල ඉන්නවා දැක්කා.ගඟේ නනා හිටිය කොල්ලො වගයක් සිරිපාලට පොල්කට්ටා කියලා කෑගහන්න පටන් ගත්තා. පොරට ඔය වචනේ ඇහුණ හැටියෙ මල පනිනවානෙ. මිනිහත් හොඳවැයින් කියන්න පටන් ගත්තා.
ටිකක් වෙලා යනකොට පොරගෙ ගෙවල් පැත්තෙන් ගඟේ නාන එවුන්ට ගල් පාරවල් එනවා. තව ටික වෙලාවක් යනකොට අපි හිටපු හරියටත් ගල් පාරවල් එනවා. පස්සෙ තමයි වැඩේ තේරුණේ. සිරිපාලගෙ පුතා ගෙදර ඉඳන් අර කොල්ලො සෙට් එකට ගල් ගහනවා. සිරිපාලගෙ පුතාටත් අවුරුදු 30කට කිට්ටු ඇති. සමහරවිට පොරටත් කියන්නෙ පොල්කට්ටා කියලද දන්නෙත් නෑ.අන්තිමේදි පැය බාගයක් විතර යනකොට යන්තම් වැඩේ ශේප්.දෙපාර්ශවයම සතුටින් විසිර ගියා.දෙපාර්ශවය කිව්වෙ අර කොල්ලො සෙට් එකයි අපේ සෙට් එකයි.
අන්තිමේදි කියන්න හිතාගෙන හිටපු කතාව නෙවෙයි ලියවුනේ. අර වසන්ත අයියයි ලලිතුයි පොල්කට්ටට කරපු වැඩේ මම ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්කො.

Saturday, January 1, 2011

ඇරඹුම........

මටත් කියන්න කතා ගොඩාරියක් තියෙනවා. ඒ ඔක්කොම අනිවා ඔයාලට කියන්නම්. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. තාම පටාං ගත්තා විතරනේ.
මට ඉස්කොලෙ පොඩි පන්ති වල ඉද්දි වෙච්චි දෙයක් මතක් වුනා.ඒ කාලෙදි මම තුනේ නැත්නම් හතරේ ඉන්න ඇති.
අපේ පන්තියේ හිටියා ජානක කියලා කොල්ලෙක්. කොල්ලෙක් කියලා කිව්වට ඌ කොලු තාත්තෙක්. ඉගෙන ගන්න නම් එච්චර උනන්දුවක් මිනිහට තිබුනෙ නෑ.ඒ උනාට කුඹුරු වැඩට ඒවගේම තවත් තවත් වැඩ වලටත් කොල්ලා දස්සයා. ඔන්න ඉතින් දවසක් මිනිහා ගෙදරින් සල්ලි වගයක් හොරකම් කරගෙන ඇවිත්. මට මතක හැටියට රුපියල් 375ක්. ඒකාලෙ හැටියට ඒ ගාන ටිකක් ලොකු ගාණක්. ඒ කියන්නෙ මීට අවුරුදු 15කට විතර ඉස්සර. ඔන්න ඉතින් පොර කැන්ටිමෙන් කන්න එහෙම යද්දි වැඩේ මාට්ටු. ඒ කාලෙ අපට දවසටම ගෙදරින් දෙන්නෙ රුපියල් පහක් විතර.
ඉතින් පහල පන්ති වල ඉන්න ළමයෙක් රුපියල් සීයක් කැන්ටිමේ ඇන්ටිට දුන්නම ඔය ගෑනි ඕක කැන්ටිමට එන ගුරුවරු හැමෝටම කියනවා. කොහොම හරි ඕක අපේ පන්ති භාර ටීචටත් ආරංචි වෙලා. ඊට පස්සෙ ටීච ජානකයගෙ ගෙදරට පනිවිඩයක් යවලා අම්මට හරි තාත්තට හරි එන්න කියලා. ඔහොම ටික වෙලාවක් යද්දී ජානක පේන්න නෑ. ටිකකින් පන්තියට ලොකු සර් ආවා ජානකව හොයාගෙන. ඒ උනාට ජානක පන්තියෙ නෑ.ටික වෙලාවකට පස්සෙ උඩ පන්තියක හිටපු අජිත් අඬාගෙන ලොකු සර් ඉන්න තැනට ආවා..........

අපි ඌට කිව්වෙ ආඳා කියලා, ජානකට කිව්ව නම නම් මට මතක නෑ. මතක් උනොත් කියන්නම්කො.
මෙන්න බොලේ ආඳාගෙ ඔලුවෙන් ලේ ගලනවා.ඌ අඬන හින්ද කියන ඒවා කාටවත් තේරෙන්නෙ නෑ.
බැලින්නම් ජානකයා මුගෙ ඔලුවට ගලකින් ගහලා. ආඳාගෙ ඔලුව පැලිලා. ඊට පස්සෙ ලොකු සර් ආඳව බෙහෙත් දාන්න යවලා අපට කිව්වා ජානකව හොයන්න කියලා.
අපටත් මරු පල්ලම. ඇයි දැන් උගන්නන්නෙත් නෑනෙ. දැන් හැමෝම ජානකව හොයනවා. මෙන්න ටික වෙලාවකින් ජානක කොහෙද හැංගිලා ඉඳලා එලියට ආවා.ඇවිත් "මං ගෙදර යනෝ" කියලා වැඩට උඩින් පැනලා දිව්වා. අපිත් ඇරියෙ නෑ. ජානකයා පාරෙ පැන්නුවා. මායි, අසංක විමලුයි, රුවනුයි අපි තුන්දෙනාම උගෙ පස්සෙන් පන්නනවා. ඌත් පණ එපා කියලා දුවනවා. දැන් ඉස්කොලෙ පහුකරලා හුගක් දුර ඇවිත්. ජානකයා නවතින්නෙත් නෑ. අපි ආපහු හැරෙන්නෙත් නෑ.

ටිකක් වෙලා යද්දි ජානක වැටක් අස්සෙන් රිංගුවා. අපිත් ඒ වැට අස්සෙන් රිංගලා එනකොට ජානකයා හැංගිලා. අපි ටිකක් වට පිට බල බල හිටියා.මෙන්න ටිකකින් ජානකයා ආයෙ දුවනවා. අපි ආයෙ ඌ පාරෙ පැන්නුවා.ටික වෙලාවකින් ජානකගෙ ලොකු අම්මව අපට මුණගැහුනා.
ඒ ගෑණි අපිව දැකපු හැටියෙම අපට බනින්න පටන් ගත්තා. ජානකයා වැටෙන් රිංගද්දි තුවාල කරගෙන.ඒකයි ලොකු අම්මා අපට බනින්න පටන් ගත්තෙ.
මොනවා කරන්නද? අපි ආපහු හැරුණා. ඉස්කෝලෙට එනකොට ලොකු සර් ඔරවගෙන ඉන්නවා. "බූරුවනේ මම උඹලට කිව්වෙ ඉස්කෝලෙ ඇතුලෙ හොයන්න කියලා විතරයි. උඹලා උගෙ පස්සෙන් ගෙදරටම ගියාද?" ලොකු සර් එහෙම කිව්ව. ඊට පස්සෙ වෙච්ච දේ ඔයාලට හිතා ගන්න පුලුවන් ඇතිනේ.....


එහෙනම්, ඔබ සැමටත් මේ කිරිපුතාටත්
                      සුබම සුබ නව වසරක් වෙවා.........!