
"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.
සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.
උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් විදිහට. කැහැපොට ගහගත්ත සරමට වඩා ටිකක් දිග වෙන්න කොට කලිසමක් ඇඳ ගත්ත උක්කුණා හෙන්ඩුවකුත් අරන් අලියො එක්ක යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.
ඒ වගේම හැන්දෑ වෙනකොට කන සාක්කුවෙ වැටෙන්න බීලා පාර දිගේ උඩහට කුනු හරුප කිය කියා යනවත් මතකයි.
බේබදුකමට කවදත් මුල් තැන ගත්ත
කසිප්පු බාගයකි හවසට අර ගත්ත
අසරණ මවගෙ සැනසුම උදුරා ගත්ත
මේ වගෙ පුතෙක් කුමටද ලොව හට ගත්ත
අම්මා සිටී හැමදාමත් කඳුලු බිබී
නිවසට එන්නෙ පුතු මත්පැන් ගොඩක් බිබී
වනසා දමයි නිවසේ ඇති සියලු බැමී
අසරණ වුනා මව, හමුවේ ඔහුගෙ බැමී
ගුටි බැට දෙනව හැමදාමත් අම්මාට
වයසක නිසා උහුලන්නට බෑ ඈට
වැටහිර ගසක ඈ බැඳලා තිබු දාට
කොහොමද ඉවසන්නෙ ඈ මේ දුක් ගැහැට
උක්කුණාගෙ අම්මට ඌ බීලා ඇවිත් හැමදාම රණ්ඩු කලා. ගේ ඉස්සරහ තිබුණු ලොකු වැටහිර ගහේ අම්මව දවසක්ම ගැට ගහලා තිබුනලු. පාන්දර ඒක දැකපු මිනිස්සු ඈව ලෙහලා ඇගේ ලොකු දුවගෙ ගෙදරට බාරදුන්නලු.
ටික කාලයක් වහන්වෙලා හිටපු උක්කුණා ආයෙමත් ගමට ආවෙ ගෑණියෙකුත් කැන්දගෙනමයි. ඒත් ඉස්සර පුරුදු නම් වෙනස් වෙලා තිබුනෙ නෑ. මිනිස්සුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගත්තත් ආයෙමත් වලියක් දාගන්න උක්කුණා අමතක කලේ නෑ.
උක්කුණාගෙ කරදර වලින් නිදහස් උණු අම්මා සතුටින් ජීවත් උනා. ඉඳල හිටලා පුතාව බලලා යන්න ආවත් ආයෙ ඒ ගෙදර නවතින්න ඒ අම්මට උවමනා උනේ නෑ.
ඔහොම කාලයක් ගත උණා. දවසක් මරණාධාර සමිතියට ගිහින් එන මිනිස්සුන්ට උක්කුනා මැරිලා කියල ආරංචියක් ආවා. මිනිස්සු උගෙ ගෙදරට ගියේ හදිස්සියෙම උක්කුනාට මක් උනාද කියල බලාගන්ට ඕනෙ හින්දමයි.
ඒ යනකොට අම්මව ගැට ගහල තිබුනු වැටහිර ගහේම එල්ලෙන උක්කුණාගෙ මිනිය මිනිස්සුන්ට දකින්න ලැබුනා.
( අපේ ගමේ වෙච්ච සිද්දියක් )
ගත හැකි ආදර්ශය: දෙමව්පියන්ට කරන වද හිංසා මෙලොවදීම පටිසන් දිය හැක. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට හැකි උපරිමයෙන් සලකන්න.