Wednesday, June 20, 2012

අම්මව ගස් බැඳපු උක්කුණා.....




"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.
සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.
උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් විදිහට. කැහැපොට ගහගත්ත සරමට වඩා ටිකක් දිග වෙන්න කොට කලිසමක් ඇඳ ගත්ත උක්කුණා හෙන්ඩුවකුත් අරන් අලියො එක්ක යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.
ඒ වගේම හැන්දෑ වෙනකොට කන සාක්කුවෙ වැටෙන්න බීලා පාර දිගේ උඩහට කුනු හරුප කිය කියා යනවත් මතකයි.

බේබදුකමට කවදත් මුල් තැන ගත්ත
කසිප්පු බාගයකි හවසට අර ගත්ත
අසරණ මවගෙ සැනසුම උදුරා ගත්ත
මේ වගෙ පුතෙක් කුමටද ලොව හට ගත්ත

අම්මා සිටී හැමදාමත් කඳුලු බිබී
නිවසට එන්නෙ පුතු මත්පැන් ගොඩක් බිබී
වනසා දමයි නිවසේ ඇති සියලු බැමී
අසරණ වුනා මව, හමුවේ ඔහුගෙ බැමී

ගුටි බැට දෙනව හැමදාමත් අම්මාට
වයසක නිසා උහුලන්නට බෑ ඈට
වැටහිර ගසක ඈ බැඳලා තිබු දාට
කොහොමද ඉවසන්නෙ ඈ මේ දුක් ගැහැට


උක්කුණාගෙ අම්මට ඌ බීලා ඇවිත් හැමදාම රණ්ඩු කලා. ගේ ඉස්සරහ තිබුණු ලොකු වැටහිර ගහේ අම්මව දවසක්ම ගැට ගහලා තිබුනලු. පාන්දර ඒක දැකපු මිනිස්සු ඈව ලෙහලා ඇගේ ලොකු දුවගෙ ගෙදරට බාරදුන්නලු.
ටික කාලයක් වහන්වෙලා හිටපු උක්කුණා ආයෙමත් ගමට ආවෙ ගෑණියෙකුත් කැන්දගෙනමයි. ඒත් ඉස්සර පුරුදු නම් වෙනස් වෙලා තිබුනෙ නෑ. මිනිස්සුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගත්තත් ආයෙමත් වලියක් දාගන්න උක්කුණා අමතක කලේ නෑ.

උක්කුණාගෙ කරදර වලින් නිදහස් උණු අම්මා සතුටින් ජීවත් උනා. ඉඳල හිටලා පුතාව බලලා යන්න ආවත්  ආයෙ ඒ ගෙදර නවතින්න ඒ අම්මට උවමනා උනේ නෑ.

ඔහොම කාලයක් ගත උණා. දවසක් මරණාධාර සමිතියට ගිහින් එන මිනිස්සුන්ට උක්කුනා මැරිලා කියල ආරංචියක් ආවා. මිනිස්සු උගෙ ගෙදරට ගියේ හදිස්සියෙම උක්කුනාට මක් උනාද කියල බලාගන්ට ඕනෙ හින්දමයි.
ඒ යනකොට අම්මව ගැට ගහල තිබුනු වැටහිර ගහේම එල්ලෙන උක්කුණාගෙ මිනිය මිනිස්සුන්ට දකින්න ලැබුනා.

( අපේ ගමේ වෙච්ච සිද්දියක් )
ගත හැකි ආදර්ශය: දෙමව්පියන්ට කරන වද හිංසා මෙලොවදීම පටිසන් දිය හැක. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට හැකි උපරිමයෙන් සලකන්න.

21 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මුගලන් හාමුදුරුවන්ට වුණු දේ දන්නවානේ

    ReplyDelete
  3. මිනිහාම අන්තිමට තේරුම් අරගෙන කල පව් වලට එල්ලිලා මැරෙන්න ඇති.

    ReplyDelete
  4. දිට්ටධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට

    ReplyDelete
  5. ආනංතරීය පාප කර්මයෙන් ගැලවෙන්න ලෙහෙසි නැහැ. කල්ප ගානක් දුක්ම තමයි. මෙහෙමත් මිනිස්සු.

    ReplyDelete
  6. මේ වගේ උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්. අර අම්මාව ගහේ බැඳලා තිබ්බ වෙලේ 119 වලට කෝල් එකක් දෙන එකයි අද නම් කරන්න පුලුවන්.

    henryblogwalker the Dude

    ReplyDelete
  7. කාලකන්නින්ට කල කම් මෙලොව දීම පල දේ

    ReplyDelete
  8. ආනන්තරීය පාප කර්ම කරහම එහෙම තමයි බං මෙලොවදීම පඩිසන් දෙනවා

    ReplyDelete
  9. තමගේ ජිවිතේ තමන්ට ම එපා වෙන්න ඇති..

    ReplyDelete
  10. ඔහොම මිනිස්සුත් ඉන්නවනේ.. කරපු පවු වලට දඬුවම් ලැබිලා..

    ReplyDelete
  11. කරපු පවු මේ මිහිපිටම පල දීලා !!!

    ReplyDelete
  12. කලින් කවි වලට වඩා පද ගැලපුම ලෙසටම ඇති බැව් කිව යුතුය.

    හොද අවවාදයක් ස‍හෝ,, ජයෙන් ජය !

    ReplyDelete
  13. කල පව් පලදුන්නා..

    ReplyDelete
  14. මරු පුතන්ඩියා !

    ReplyDelete
  15. අම්මව ගැටගහල තිබ්බ දවසෙම මූව ඒකෙ එල්ලන්න තිබ්බෙ.....!

    ReplyDelete
  16. ඌ තව තවත් පවු ගොහොරුවේම එරිලා...

    ReplyDelete
  17. අජාසත්ත කතාව අහලා තිබුනා
    එවන් එවුන් ආයෙත් නොම වේ සිතුනා
    බිව් කිරි කඳුල අමතක කල මේ උක්කුනා
    සතර අපායේ බොයි ලෝදිය මතු බවෙනා

    ReplyDelete
  18. එහෙමත් කාලකණ්නි ඉන්නවා පුතේ

    ReplyDelete
  19. අර කතාවක් තියනවා නේද තාත්තව ගස් බැදලා අම්මව දුන්නා කියලා, ඔය විදිහට ඒ කතාවත් ඇත්තද දන්නැ

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.