Showing posts with label ගමේ චරිත. Show all posts
Showing posts with label ගමේ චරිත. Show all posts

Wednesday, December 26, 2018

කවි මඩුවට ගියා



අවුරුදු 4කට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ජීවිතේ ගොඩක් වෙනස්වුණා මේ කාලෙ ඇතුලත. එදා වගේ දැන් ගොඩක් බ්ලොග් ලියවෙන්නෙ නෑ වගේ.
මේ බ්ලොග් අවකාශෙ සමහර මතකයන් තාමත් සුන්දරයි.

ඉස්සර කවි ලියපුවා ආයෙම මතක්වෙලා මූණු පොතේ පොඩි වැඩක් පටන් ගත්තා.
කවි මඩුව කියලා පිටුවක්. පුලුවන් වෙලාවට කවියක් ලියාගෙන ඉන්නවා.

ඒ පැත්තෙ ඇවිත් බලන්න.

කවියට හුරුයි තාමත් ඒ වාගේම
ලියවෙයි කවිය බුකියේ පිටු අතරේම
මතකයි බොලොග් අවකාසේ හමුවීම
ඉන්නේ කොහොම ඉවසාගෙන පෙරසේම

අන්තිමට මේක මලගෙදරක ශෝක ප්‍රකාශයක් වගේ උනා.

Wednesday, June 20, 2012

අම්මව ගස් බැඳපු උක්කුණා.....




"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.
සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.
උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් විදිහට. කැහැපොට ගහගත්ත සරමට වඩා ටිකක් දිග වෙන්න කොට කලිසමක් ඇඳ ගත්ත උක්කුණා හෙන්ඩුවකුත් අරන් අලියො එක්ක යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.
ඒ වගේම හැන්දෑ වෙනකොට කන සාක්කුවෙ වැටෙන්න බීලා පාර දිගේ උඩහට කුනු හරුප කිය කියා යනවත් මතකයි.

බේබදුකමට කවදත් මුල් තැන ගත්ත
කසිප්පු බාගයකි හවසට අර ගත්ත
අසරණ මවගෙ සැනසුම උදුරා ගත්ත
මේ වගෙ පුතෙක් කුමටද ලොව හට ගත්ත

අම්මා සිටී හැමදාමත් කඳුලු බිබී
නිවසට එන්නෙ පුතු මත්පැන් ගොඩක් බිබී
වනසා දමයි නිවසේ ඇති සියලු බැමී
අසරණ වුනා මව, හමුවේ ඔහුගෙ බැමී

ගුටි බැට දෙනව හැමදාමත් අම්මාට
වයසක නිසා උහුලන්නට බෑ ඈට
වැටහිර ගසක ඈ බැඳලා තිබු දාට
කොහොමද ඉවසන්නෙ ඈ මේ දුක් ගැහැට


උක්කුණාගෙ අම්මට ඌ බීලා ඇවිත් හැමදාම රණ්ඩු කලා. ගේ ඉස්සරහ තිබුණු ලොකු වැටහිර ගහේ අම්මව දවසක්ම ගැට ගහලා තිබුනලු. පාන්දර ඒක දැකපු මිනිස්සු ඈව ලෙහලා ඇගේ ලොකු දුවගෙ ගෙදරට බාරදුන්නලු.
ටික කාලයක් වහන්වෙලා හිටපු උක්කුණා ආයෙමත් ගමට ආවෙ ගෑණියෙකුත් කැන්දගෙනමයි. ඒත් ඉස්සර පුරුදු නම් වෙනස් වෙලා තිබුනෙ නෑ. මිනිස්සුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගත්තත් ආයෙමත් වලියක් දාගන්න උක්කුණා අමතක කලේ නෑ.

උක්කුණාගෙ කරදර වලින් නිදහස් උණු අම්මා සතුටින් ජීවත් උනා. ඉඳල හිටලා පුතාව බලලා යන්න ආවත්  ආයෙ ඒ ගෙදර නවතින්න ඒ අම්මට උවමනා උනේ නෑ.

ඔහොම කාලයක් ගත උණා. දවසක් මරණාධාර සමිතියට ගිහින් එන මිනිස්සුන්ට උක්කුනා මැරිලා කියල ආරංචියක් ආවා. මිනිස්සු උගෙ ගෙදරට ගියේ හදිස්සියෙම උක්කුනාට මක් උනාද කියල බලාගන්ට ඕනෙ හින්දමයි.
ඒ යනකොට අම්මව ගැට ගහල තිබුනු වැටහිර ගහේම එල්ලෙන උක්කුණාගෙ මිනිය මිනිස්සුන්ට දකින්න ලැබුනා.

( අපේ ගමේ වෙච්ච සිද්දියක් )
ගත හැකි ආදර්ශය: දෙමව්පියන්ට කරන වද හිංසා මෙලොවදීම පටිසන් දිය හැක. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට හැකි උපරිමයෙන් සලකන්න.

Monday, May 7, 2012

ගමේ මන්ත්‍රීගෙන් ගේම ඉල්ලන විජේ මාමා....






වෙසක් දවසෙ පන්සල් යන ගමන් හඳුන්කූරු පෙට්ටියක් ගන්න විජේ මාමගෙ කඩේට ගොඩ වැදුනා. දැන්නම් උන්නැහේ අලුත් ඇන්ටනාවක් ගෙනල්ලද කොහෙද අයි.ටී.එන්. එක ගැන කිසි කතාවක් නෑ. ඒත් අලුත් කතාවක් ඇදිල ආවෙ නොහිතූ විදිහට. මේක අපේ ගමේ සාමාන්‍යයෙන් කතා කරන්න බය මාතෘකාවක්. මේකට විරුද්ධව කතා කරන්න ඉන්නෙ විජේ මාමා ඇතුලු කීප දෙනෙක් විතරයි. මම කිසි බයක් නැතුව මේක බ්ලොග් එකේ දාන්නෙ අදාල පුද්ගලයො මේක කියවන්න තියෙන හැකියාව බොහොම අල්ප හින්දා.
විජේ මාමා කියපු කතාව මම කවියෙන් කියන්නම්.



එක ගමකට එක වැඩක්
තව ගමකට තව වැඩක්
මේක හරිම හොඳ වැඩක්
මෙහෙත් වෙනව හරි වැඩක්

උදෑසනින් පිබිදුනා
ගම්මුන් එක් රැස් උනා
පාර පුරා හැඩවුනා
විසල් තොරන් ඉදිවුනා

මිලියනයක් දෙනවලූ
ලොකු ලොක්කන් එනවලූ
ගම කල එලි වෙනවලූ
පාරක් ඉදි වෙනවලූ

ලොකු ලොක්කන් පැමිණියා
ඇම් පී ලත් පැමිණියා
ඒ දෙසටම කට අයා
අපි සේරම එහෙ ගියා

ලොකු මුල්ගලකුත් තියා
කතාවකුත් කල නියා
අප සැම ඉපිලී ගියා
ඇම් පී යන්නට ගියා

මිලියනයක් දුන්නට
දුක සැප අපෙ බැලුවට
අපෙ ඇම් පී මහතට
පුදනව අපි මල් මිට

අපි දන්නව ඉතිරිය
හැමදාමත් වෙන දෙය
පගා බලෙන් ගොඩ ගිය
පවුලකි එය නමගිය

ඇම් පී හට දරදිය
ඇදලම වැහැරී ගිය
සිරි අයියගෙ නම ගිය
කිසිවෙකුටත් නැහැ බිය

පාරවලුත් හදනවා
වමට පාර ගහනවා
ගමට සල්ලි ලැබෙනවා
ඔහුගෙ ගෙදර හැදෙනවා

ලොකු මල්ලිට කුට්ටියයි
පොඩි මල්ලිට කුට්ටියයි
වටේ පිටේ කට්ටියයි
ගමට දෙන්නෙ හට්ටියයි

ගමට ලැබෙන සොච්චමෙන්
පාරක් අටවයි සෙමෙන්
ගම්මුන් වෙත බැඳි පෙමෙන්
ඔහු වැජඹෙයි රජෙකු මෙන්

මේ පාරත් එච්චරයි
හැමදාමත් ඔච්චරයි
කීමට දේ මෙච්චරයි
ගමට එන්නෙ අච්චරයි

( පින්තූරය ගත්තෙ මෙතනින්    ; http://farm1.static.flickr.com/127/350974927_57fcf53ce2.jpg)