Showing posts with label මෙලෝ රහක් නෑ. Show all posts
Showing posts with label මෙලෝ රහක් නෑ. Show all posts

Wednesday, December 26, 2018

කවි මඩුවට ගියා



අවුරුදු 4කට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ජීවිතේ ගොඩක් වෙනස්වුණා මේ කාලෙ ඇතුලත. එදා වගේ දැන් ගොඩක් බ්ලොග් ලියවෙන්නෙ නෑ වගේ.
මේ බ්ලොග් අවකාශෙ සමහර මතකයන් තාමත් සුන්දරයි.

ඉස්සර කවි ලියපුවා ආයෙම මතක්වෙලා මූණු පොතේ පොඩි වැඩක් පටන් ගත්තා.
කවි මඩුව කියලා පිටුවක්. පුලුවන් වෙලාවට කවියක් ලියාගෙන ඉන්නවා.

ඒ පැත්තෙ ඇවිත් බලන්න.

කවියට හුරුයි තාමත් ඒ වාගේම
ලියවෙයි කවිය බුකියේ පිටු අතරේම
මතකයි බොලොග් අවකාසේ හමුවීම
ඉන්නේ කොහොම ඉවසාගෙන පෙරසේම

අන්තිමට මේක මලගෙදරක ශෝක ප්‍රකාශයක් වගේ උනා.

Monday, March 12, 2012

බඩියගෙ කහපාට සින්දුව සහ අපේ නන්ස්ටොප් එක......



බඩියලත් එක්ක ට්‍රිප් එකක් යන්න මට ආරාධනාවක් ලැබුනෙ මීට දවස් කීපෙකට කලින්. මාත් බොහොම සංතෝසෙන් ඒ ආරාධනාව පිලිගත්තා. ගොඩක් කාලෙකින් විනෝද චාරිකාවකට සහභාගි වෙන්න අවස්ථාවක් නොලැබුන හින්දා මාත් උදේ පාන්දරින්ම දතකට මැදගෙන වැඩේට සෙට් වුනා.
බඩියගෙයි මගෙයි තව කොල්ලො දෙතුන් දෙනෙකුගෙයි ඇරෙන්න සමහර උන්ගෙ නෑදෑ සනුහරේම එතන හිටියා.
උදේ පාන්දර හින්දද කොහෙද තිබ්බෙ ඇඟ කිලිපොලා යන සීතලක්. නුවර එලියෙ ගියා වගේ හැඟීමක් මට නොදැනුනාට බඩියට දැනිල කියල තේරුනේ ඌ දෙපාරක්ම බස් එකෙන් බැහැල කොහෙටදෝ ගිහින් ආපු හින්ද.
නඩේ ගුරා වෙච්ච සීය කෙනෙක් අපිව පන්සිල් සමාදන් කරවලා එහෙම ට්‍රිප් එක ආරම්භ කරන්න සංඥාව දුන්නා.
"මචං කාවද මුලින් ගෙන්නන්නෙ ජෝතිද බෙග්ද?" සජිත් අයියා එහෙම ඇහුවෙ තඩිබාන්න ගෙනාපු ලට්ට ලොට්ට කීපයක් එහෙ මෙහෙ කරන ගමන්.
"බඩියා, සින්දුවක් පටන් ගනිංකො" එහා පැත්තට වෙලා ඇඹරි ඇඹරි හිටපු බඩියව උනන්දු කරවලා ගන්න සම්පත් එහෙම කිව්වා.
"මචං මම දැන් සින්දු දෙකක්ම කියල ආවෙ. එකක් සුදු පාටයි. අනික කහ පාටයි" බඩියා කවුරු හිටියත් ගානක් නැති කොල්ලා වෙච්ච හින්දා හිතේ තිබ්බ දේවල් එහෙම්ම කියලා දැම්මා.
අහල පහල සීට් වල වාඩි වෙලා නිදි කිර කිර හිටපු අක්කල නංගිලත් ලැජ්ජා සහගත හිනාවකින් එකිනෙකාට සංග්‍රහකර ගත්තා.
එකින් එක සින්දු කෑලි කියාගෙන යද්දි මට වතුර තිබහක් ආවෙ නොසිතුව මොහොතකදි. ලඟ තිබුන වතුර බෝතලයක් අරන් බොන්න පටන්ගත්තෙ දුරදිග හිතල බලන්නෙ නැතුවමයි.
සින්දු කියන අස්සෙ සම්පතාට මතක් වෙන්නෙම කුණුහබ්බ සින්දු. උගෙ බ්‍රේක් නැති කටෙන් ඒවා පිට වෙලා බස් එකේ ඉන්න අක්ක කෙනෙක්ට හරි නංගි කෙනෙක්ට හරි ඇහිලා එයාලගෙ හිරි ඔතප් බිඳෙයි කියල තිබ්බ බයටම මුල් හරිය පටන් ගන්න කොටම අපි ඌව මියුට් කරන්න පුරුදු උනා.
ඒ අස්සෙම සම්පතා කොහෙන්දෝ අහගෙන ආව කතාවක් කරන්න පටන් ගත්තා.
" අපි හිටියෙ මූලග්ගින්න කියල ගමක. තිබ්බෙ දෙහූවක දුර. අපි කසාද බඳින කොට නම් ලමයි හිටියෙ නෑ. ඒත් බැඳල මාස දෙක තුනක් යනකොට දරු සුරතල් බලන්න හම්බුනා......" කතාව ඇදිල යන්නෙ අඳුරු පැත්තකට කියල තේරුම් ගිය හින්දම වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව මියුට් කර ගත්තෙ සුදුසු අවස්ථාව එලඹුනාම කතාව අහගැනීමේ පරම චේතනාවෙන්.
වතුර බීමේ ආදීනව තේරුනේ ටික වෙලාවක් ගියාට පස්සෙ. බලනකොට බඩියත් අපහසුතාවයකින් පෙලෙනවා වතුර නොබී.
ඌට පාචන තත්වයක්වත් ඇතිවෙලාද කියල පොඩි සැකයක් කට්ටිය අතර මතුවුනා. තව කිලෝමීටර් කිහිපයක් යනකොට අපි දෙන්නගෙම තත්වෙ බොහොම උග්‍ර අතට හැරුනා. දැන් ඉඳගෙන ඉන්නවත් හිටගෙන ඉන්නවත් බැරි අවස්ථාවකට එලඹිලා. අපි දෙන්නගෙම මූණු බෙරි වෙලා. ඒ අතරෙ කොහොම හරි ඩැයිවර් මහත්තයට පණිවිඩයක් යවාගත්තා. ඇසිල්ලකින් අපි දෙන්න හිටියෙ ෆුට් බෝඩ් එකේ. ඒ අතරෙදි අපට හම්බුනේ ටවුමක්. තාම එලිය වැටිල නැති උනාට ටවුමෙ ලයිට් දාල. ඩැයිවරයා ගෙයක් ඉස්සරහින්වත් නවත්තයිද? දෙගිඩියාවෙන් හිටපු අපට සහනයක් ලැබුනෙ කැලෑබද හරියක බස් එක නැවැත්තුවාට පස්සෙ.
සිංහලයගෙ පුරුද්ද නැවතත් ප්‍රදර්ශනය කරමින් එකා දෙන්නා අපේ කර්තව්‍යයට එකතු උනා. දැන් පාර අයිනෙ මියුසිකල් ෂෝ එකක් වගේ. පෝලිමට කට්ටිය සින්දු කියනවා.
ලැබුනු සහනෙ නම් කියල නිම කරන්න බැරි තරම්. බස් එකට නැග්ගට පස්සෙ සම්පත් විරිදුවක් කියන්න පටන් ගත්තා. වෙලාවට කීවෙ නෑනගෙ එක. අපට හිතුනෙ පටන් ගන්නකොටම මූ මෙහෙම නම් දවල් වෙනකොට කොහොමට හිටීද කියල.
වයසක අංකල්ලා සෙට් එකකුත් පරණ සින්දු සෙට් එකක් ඇදල ගත්තා. බලාගෙන යනකොට අපි කියන්නෙත් ඒවම තමයි. අද කාලෙ ගායකයන්ගෙ සින්දු ට්‍රිප් එකකදි උනත් කියවෙනවා හරි අඩු ඒ ගීත වලට එච්චර පැවැත්මක් නැති හින්දද කියල හිතුනා.
දැන් කට්ටිය ගිරිය කඩාගෙන සින්දු කියනවා. එක අංකල් කෙනෙක් "බැරි බර කරේ තියන් " සින්දුව කියන්න පටන් ගත්තා. බඩියත් ඒකට ෆුල් සහයෝගෙ දුන්නෙ තැනින් තැනින් "ජහ ජහ" කියන ගමන්.

උදේට කන්න බස් එක නවත්තද්දි 7ට විතර ඇති. ආයෙ පාරක් අපි සෙට් එක කැලයක් අස්සට දිව්වෙ සැහැල්ලු වෙන්න හිතාගෙන.
උදේට කෑම කන්න කඩේකට ගියපු  වෙලාවෙත් බඩියා පේන්න නෑ. අපිත් එක්ක කඩේට ආව කියල හොඳ මතකයක් තිබ්බා. අපි සෙට් එක කාලා බඩියටත් එක්ක ප්ලේන්ටි ඕඩර් කරලා නිකමට විපරම් කරල බැලුවා. සජිත් අයියා කඩේ ටොයිලට් එක ලඟ පෝලිමක් තියෙනවා දැකලා පොඩ්ඩක් සෝදිසි කරල බලන්න ගියා. ටික වෙලාවකින් ආපහු ආවෙ දෙකොනින්ම හිනා වෙවී.
බඩියා ටොයිලට් එකට ගිහින් ගොඩක් වෙලාලු. තාම එලියට ඇවිත් නැති හින්දා එලියෙ මිනිස්සු උට හෝ ගාලා බනිනවලු. සිද්දිය උනේ ඊයෙ. තාම බඩියා බඩේ අමාරුව කියලා දෙහි බිබී ඉන්නවා කියලා මේ දැන් ආරංචියක් ආවා.

Wednesday, February 15, 2012

එල්ලපං මගෙ සරම........



සමහර යූඇන්පි කාරයෝ ඉන්නවනෙ ආයෙ කැපුවත් කොල. ආයෙ අම්මේ මුත්තේ කීවත් වෙන පක්ෂෙකට චන්දෙ දෙන්නෙ නෑ. මේ දවස් වල ආණ්ඩුව හොඳක් කරත් වැරදි නරකක් කලත් වැරදි. අපේ විජේ මාමත් ඒ වගේ තමයි.හැබැයි පොඩි පරහක් තිබුණා.ඒ තමයි විජේ මාමගෙ නෝනා සන්ධානෙ වෙච්ච එක.
ඔය දේශපාලන කේස් වලට එහෙ පොඩි පොඩි වලි හෙමත් නොයනවාම නෙමෙයි.විජේ මාමාට කඩයක් තියෙනවා.
ඒකෙ බිස්නස් හෙමත් නැගලම යනවා. කඩේට එන සමහර මිනිස්සු කරන්නෙ විජේ මාමව අවුස්සන එක.එතකොට ඉතින් අම්මද මුත්තද කියලා බලන්නෙ නැතුව විජේ මාමා පටන් ගන්නවා ජාතිය අමතන්න.
මේ සිද්දිය වෙන කාලෙ වෙනකොට යුද්දෙ ඉවර උනා විතරයි මයෙ හිතේ. හැමෝම මහින්ද මහත්තයගෙ ගුණ ගායනා කරනවා කියලා විජේ මාමා ටිකක් විතර අප්සට් මූඩ් ගහලා හිටියෙ. වෙන දෙයක් තියා ගෙදර ගෑනිත් අනිත් පැත්තෙ වෙච්චි තමන්ගෙ පැත්තට කවුරුවත්ම නැති වෙනකොට විජේ මාමා තවත් අසරණ වෙලා හිටියෙ.
ඒත් තනියෙන් හරි තමන්ගෙ සටන ගෙනියන්න පුලුවන් හයියක් විජේ මාමාගෙ කටේ තිබ්බා.
ඒ අවුරුද්දෙ නිදහස් දවසත් ආවා. හැමෝම ගෙවල් වල ජාතික කොඩි දානවා. ඒකට ජාති බේද, පක්ෂ බේද නෑනෙ. අපිත් අපේ ගෙවල් වල කොඩි දාලා පොඩි රවුමක් ගහන්න කොල්ලො සෙට් එකත් එක්ක ගියා.
හැම ගෙදරකම ජාතික කොඩි දාලා එක ගෙදරක හැර. ඒ තමයි විජේ මාමලාගෙ ගෙදර. අපි එතනින් යනකොට නැන්දා අපට කතාකලා.
"පුතේ, අපේ ගෙදර විතරයි නිදහසට කොඩියක් දාලා නැත්තෙ, උඹලට පුලුවන්නම් මේ කොඩිය එල්ලලා දීලා පලයල්ලකො"
ගමේ මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවාම ඒක නොකර මග අරින සිරිතක් නෑ. ඒ හින්දා අපි කොඩිය එල්ලන්න ලෑස්ති උනා.
එතකොටම විජේ මාමා එතනට කඩාපාත් උනා. ඒ වෙනකොටත් මෑන් නිදහස සමරලා තිබුනෙ.
"පුතේ, උඹලා ඔය කොඩිය අරන් මොකද කරන්නෙ?"
"අපි මේක එල්ලන්න හදන්නෙ මාමෙ."
"ඕක නෙමෙයි එල්ලපං මගෙ සරම. ආ ඉඳා......"
කන සාක්කුවට දාගෙන ඉන්න විජේ මාමා සරම ගලවලා දෙන්න හදනවා. නැන්දට මල පැන්නා.
"මේ මිනිහට අද වගෙ නිදහස් දවසකත් කටවහන් ඉන්න බැරි හැටි. ඕවා ගනන් ගන්න එපා පුතාලා ඔය කොඩිය එල්ලපල්ලා. මං උඹලට තේ ටිකක් හදන්නං "
"තෝ වහගනිං #$@$%යෙ කට. ඔය (ටීක්) ඉන්නකං අපට නිදහසක් නෑ බොල."
"(ටීක්) මහත්තයා තරං මේ රටට වැඩක් කරපු උත්තමයෙක් වෙන ඉන්නවද. අනේ මේ ඔහේ කට පියන් ඉන්නවා."
"තෝ කවුද @#$%^* මගෙ කට වහන්න." කියපු විජේ මාමා පිහියක් ඇදලා ගත්තා.
එනපොට හොඳනැති වග දැනගත්ත අපි අඩියට දෙකට එතනින් මාරුවුනා.නැන්දා ඇස්වල කදුලු පුරවන් බලා ඉන්නවත් අපි දැක්කා.
(පින්තූරය ගත්තෙ මෙතනින් http://gossip9.files.wordpress.com/2011/05/4.png?w=1000&h=)

Friday, January 28, 2011

පොල්කට්ටගෙ ගමේ ක්‍රිකට් තරඟාවලිය


මම ක්‍රිකට් කණ්ඩායමට සුබ පතලා දාපු පෝස්ට් එකට විකී දාපු කොමෙන්ටුව හින්දා මට ක්‍රිකට් සම්බන්ධ වුණ කතා සෙට් එකක් මතක් උනා. මේ ඒවගෙන් එකක්.
 දැනට අවුරුදු කීපයකට කලින් අපේ ගමට අල්ලපු ගමේ කොල්ලො සෙට් එකක් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කලා.ඒක තිබුණෙ හරියටම අවුරුදු දවසෙ.
අපේ ගමෙනුත් කොල්ලො සෙට් එකක් මැච් එකට ගියා. සය සාමාජික තරඟාවලියක් කියන්නෙ අන්න ඒකක් තමා තිබ්බෙ.
අපි කට්ටිය එතෙන්ට යනකොට අනිත් ගම් වලින් ආපු කොල්ලො තැන් තැන් වල ප්‍රැක්ටිස් කරනවා. දැන් අපේ එවුන්ටත් ප්‍රැක්ටිස් කරන්න ඕන වෙලා.ඒත් ඉතින් හය හය බෙදෙන්න එපායැ. කොහොම හරි බෙදාගන්න බලද්දි ඉන්නෙ එකොලහයි. ඊට පස්සෙ අපට විදේශීය ක්‍රීඩකයෙක්ව ආනයනය කරන්න සිද්ද උනා. අපේ කරුමෙටද කොහෙද ඒකනායක කියලා අල්ලපු ගමක අයියා කෙනෙක් තමයි හොයාගන්න හම්බ උනේ.
කණ්ඩායමේ හිටිය පොඩිම එකා තමයි මම. ඒ කාලෙ ඕනෙ නම් මම දහය වසරෙ ඉන්න ඇති.ඒක හින්ද මට කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවෙත් අන්තිම තැන තමයි හම්බ උනේ.
කොහොම හරි දැන් තරඟාවලිය පටන්ගන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉවරයි. ටීම් විසි ගාණක් විතර හිටියා මයෙ හිතේ.
ඔන්න පලවෙනි මැච් එක පටන් ගත්තා කියමුකො. ඔක්කොම අම්පයර්ලා එතකොට නිවේදකයො ඔක්කොම හිටියෙ අර ගමෙන්ම තමයි. මේක පොල්කට්ටගෙ ගම හොඳේ.
මේ මැච් එකටත් ඒ ගමේ ටීම් එකකුත් හිටියා. පලවෙනි මැච් එක කිසිම අවුලක් නෑ.පොල්කට්ටගෙ ගමේ ටීම් එක පරාදයි.
දෙවනි මැච් එකේදි තමයි අපට වැඩේ තේරුනේ.මෙන්න බොලේ පලවෙනි මැච් එකේ හිටපු අම්පයර්ලා දෙන්නයි, නිවේදකයොයි ඊලඟ මැච් එක ගහන්න ඇවිත්. කලින් මැච් එකේ පැරදිච්ච ටීම් එකේ කට්ටියක් තමයි දැන් අර රාජකාරි කරන්නෙ.
එල්.බී.ඩබ්ලිව් රනවුට් ඔක්කොම හොරට දෙන්නෙ.
වැඩි වෙලාවක් ගියෙ නෑ. අනිත් ටීම් එකේ එවුන් වලියක් දාගත්තා. දැන් දෙගොල්ලොම හොඳට ගහගන්නවා.
එඊට පස්සෙ එතන හිටපු අනිත් අය එකතුවෙලා තමයි වලිය නවත්ත ගත්තෙ.මෙන්න බොලේ ඒ අතරෙ කවුදෝ කප් එක උස්සලා.
ඒ හින්දා තරඟාවලිය සතියකට කල් දැම්ම කියලා නිවේදනය කලා. හැබැයි ඒ සතිය තාම ආවෙ නෑ.


Monday, January 24, 2011

ඇල්බට් සිංඤොගෙ මංගල මල් කැඩිල්ල




ඇල්බට් සිංඤො කියන්නෙ මගෙ හොඳ හිත මිත්‍රයෙක්.පොර මගෙ ආස්සරේට වැටුනෙ දැනට අවුරුදු කීපෙකට කලිං.
ඒ මගෙ හොඳ යාලුවෙක් වෙච්ච ප්‍රියන්තගෙ නෑකමක් හින්දා. ප්‍රියන්තගෙ මස්සිනා තමයි ඇල්බට් සිංඤො හෙවත් ඇල්බා.
ඇල්බට අප්‍රමාණ නම් ප්‍රමාණයක් තියෙනවා.එක එකා දන්නෙ වෙන වෙන නම් වලින්.
අපි උසස් පෙල කරන්න ක්ලාස් යන කාලෙ තමයි ඇල්බා හොඳටම ෆිට් උනේ.
ඌ දැක්කම හිතන්නෙ මරුසි ඩයල් එකක් කියලා. ඒ උනාට දන්න එවුන් හොඳටම දන්නවා උගෙ මරුසිකම.
ඇල්බට් කැමති කොන්ඩෙ කපපු කෙල්ලොන්ට. හේතුව මොකක්ද කියලා ඇහුවට කියන්නෙත් නෑ. අපේ සෙට් එකම මෑන්ට "කොන්ඩෙ කපලා" කියලා නෝන්ඩි කරනවා. අන්තිමේදි මෑන්ට "කොන්ඩෙ කපලා" කියලා කාඩ් එකකුත් වැදුනා.
මම කැම්පස් එකේ දෙක වසරේ ඉන්න කාලෙ අපි බෝඩිමක් අරන් හිටියා. ඒක තට්ටු තුනක විතර ගෙදරක්. එක එක කාමර වල බෝඩිං කාරයො හිටියා.
ඒකෙ ඉන්න කොල්ලන්ගෙ සිරිතක් තිබුනා. සාමාන්‍යයෙන් මලක් කඩන්න ඕන උනාම උඩම තට්ටුවට තමයි යන්නෙ. අව්ව වැස්ස මේ කිසි දෙයක් ගැන කවුරුත් කිසිම තැකීමක් කරන්නෙ නෑ. තමන්ගෙ පාඩුවේ මල් කඩනවා. රෑ වෙනකොට ඕක උඩ කොල්ලො පිරිලා. සමහර එවුන් හිටගෙන තවත් එවුන් ඉඳගෙන ලවක් දෙවක් නැතුව මල් කඩනවා.
ඔන්න ඉතිං ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි දවසක ඇල්බටත් හඳ පෑව්වා. හුරු බුහුටි කෙලි පොඩිත්තක් ඇල්බට බහ දීලා.
දැන් ඉතිං බෝඩිම එකම මගුල් ගෙයයි. මනමාල මහත්තයට එක එකා ඇවිත් සුබ පතනවා.
ඔන්න ඉතිං රෑ බෝ වෙනකොට ඇල්බට මංගල දුරකතන ඇමතුම එනවා.
පලවෙනි කෝල් එක ආවා. නෝ ආන්සර්.
 දෙක, තුන....... දහය ඔය විදිහට කෝල් එනවා ඒත් ඇල්බා ආන්සර් කරන්නෙ නෑ.
දැන් අපටත් මේක ප්‍රශ්නයක්.
අපටත් ඉතිං කට පියාගෙන ඉන්න බෑනෙ. අපිත් ඇහුවා "මොකද ඇල්බො කෝල් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ ?" කියලා.
"මට ලැජ්ජයි බං" කියලා ඇල්බා කියපි.
අපට දැන් කොහෙන්ද මේකට හිනාවෙන්නෙ කියලා හිතාගන්න බෑ. යකෝ මෙච්චර අමාරුවෙන් දාගත්ත කෙල්ලගෙන් කෝල් එකක් එනකොට ආන්සර් කරන්නෙ නැත්තෙ මොන මෝඩයාද?
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න වෙන නොම්මරේකින් උට කෝල් එකක් එනවා.
ටිකක් වෙලා කල්පනා කර කර හිටපු ඇල්බා කෝල් එකට ආන්සර් කලා. ෆෝන් එකත් කනේ ගහගත්ත ඇල්බා මෙන්න බොලේ උඩ තට්ටුවට නගිනවා.
විනාඩි දහයකට විතර පස්සෙ මෙන්න බොලේ ඇල්බා පුස් මූනක් දාගෙන එනවා.
"මොකද බං ඔය පුස් මූන දාගෙන?" ප්‍රියන්තයා ඇහුවා.
"ඒකි චාටර් බං" ඇල්බා කියපි.
මෙච්චර වෙලා වර්ණනා කර කර හිටපු ඇල්බට්ගෙ සුරංගනාවි මෙන්න බොලේ එක පාරටම චාටර්ලු.
පස්සෙ ඇල්බව රවට්ටගෙන තමයි අපි කතාව දැනගත්තෙ.
අර අන්තිමේට කෝල් කරලා තියෙන්නෙ කෙල්ලගෙ අක්කා. අරූ කෝල් වලට ආන්සර් කරන්නෙ නැති හින්දා කෙල්ල ඔක්කොම අක්කට කියලා.
ඊට පස්සෙ අක්කා ඇල්බට කෝල් කරලා හොඳටම අමතලා.

Wednesday, January 19, 2011

මදුරුවාගෙ කතා -3 (අසරණ මදුරුවා)


මේ අර ඊයෙ කියනවා කියපු කතාව.
ඔන්න මදුරුවා දවසක් උගෙ කෙල්ල හම්බවෙන්න ගිහින්. සාමාන්‍යයෙන් ඌ යන්නෙ උදේටලු.
උන්ගෙ බෝඩිමේ වෙනදා උදේ පාන්දර උයන එක සාමාන්‍ය සිරිතක්.ඒ උනාට එදා උයන්න පටන් ගන්නකොට 8ත් පහුවෙලාලු.කොහොමහරි කනකොට 9 විතර උනා කියමුකෝ. මදුරුවාගෙ කෙල්ල වෙනදා මුනගැහෙන තැනට ඇවිත් ඌට කෝල් කරනවලු.මූට කන්න තියෙනවනම් අනිත් ඔක්කොම අමතක හින්දා මූ ෆෝන් එක සයිලන්ට් කරගෙන කාලා තියෙන්නෙ.
කාලා ඉවර වෙලා කෝල් එකක් ගන්නම් කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නෙ. බලද්දි මිස් කෝල් විසි ගානක් තිබිලා. මදුරුවා ආයෙ ගන්නකොට ෆෝන් එක වැඩ නැතිලු. ඊට පස්සෙ තමයි පොර ඉක්මනට කෙල්ල මුණගැහෙන්න ගිහින් තියෙන්නෙ.
ඒත් අසරණ මදුරුවා ප්‍රමාද වැඩියිලු.
කෙල්ල ආපහු ගෙදර ගිහින්. පැය ගානකට පස්සෙලු ෆෝන් එක ඔන් කරලා තියෙන්නෙ.
ඊට පස්සෙ කෙල්ල කෝල් එකක් අරන් මදුරුවාට බනිනවාලු. මදුරුවත් සෑහෙන්න ට්‍රයි එකක් දීලා ශේප් කරගන්න.
කෙල්ල කියලා හැමදාම මම තමයි ඔයාට කෝල් කරන්නෙ. ඔයා මට කවදාවත් කෝල් කරන්නෙ නෑ.මීට පස්සෙ ඔයා කෝල් කලාට මම ආන්සර් කරන්නෙ නෑ කියලා කෝල් එක කට් කලාලු.
ඉතින් මදුරුවත් ආයෙ කෝල් ගන්නෙ නැතුව පාඩුවේ හිටියලු. ඇයි කෝල් ගත්තොත් ආන්සර් කරන්නෙ නැතිලුනෙ.
දවස් කීපයක් යනකොට ආයෙ කෙල්ලම ඌට කතා කරලා සමාව ඉල්ලගෙන.
මදුරුවත් ගොනා වගේ ඔය කතාව ටිංටිංට කියලා. ඒ කතාව බෝඩිමේ අනිත් උන්ට කිව්වා කියලා තමයි ඌ ටිංටිං එක්ක තරහ වෙලා තියෙන්නෙ.
අද උදෙත් දෙන්නා පොඩි වලියක් ගිහින්.
ටිංටිං කියනවලු මදුරුවට "උඹේ ලමයිනුත් උඹ වගේ උදේ පාන්දර ඉඳන් ඇහැරගෙන ෆේස්බුක් යයි" කියලා.
එතකොට මදුරුවා කියනවලු "උඹේ ලමයි උඹ වගේ ගොන්පාට් දායි. වටාපිටාවෙ එවුන්ට විනෝදාස්වාදය සපයන්න උඹලා ඉන්නවනෙ" කියලා

Tuesday, January 18, 2011

මදුරුවා = කුකුලා


දැන් ටිකකට කලින් ටිංටිං අපේ බෝඩිමට ආවා. අපි ඉතිං නිශාචරයොනෙ. පාන්දර වෙනකම් ජංජාලෙ තමයි.ටිංටිනුත් ඒවගේ තමයි.වෙනදා හදිස්සියක් උනොත් චැට් එකෙන් තමයි කියන්නෙ.
මටයි අවිශ්කයාටයි පුදුමයි ටිංටිං අවේලාවෙ පැමිණීම ගැන. අපි තුන්දෙනා අතර සිදුවූ සංවාදය තමයි මේ.
මම:මොකෝ ටිංටිං මේ කුකුලත් අතින් අරන්
ටිංටිං:  මොන කුකුලෙක්ද යකෝ මේ මහ රෑ
අවිශ්ක: දැන් පාන්දර බං. බලපං වෙලාව
ටිංටිං: ඒ උනාට කුකුලා නිදි බං. ඒක හින්දා මම ඌව තියලා ආවා
අවිශ්ක: කවුද බං කුකුලා?
ටිංටිං: වෙන මොකාද ඉතින් මදුරුවානෙ
මම: මොකක්ද කේස් එක බං
ටිංටිං: උගෙ ලොකු ලයින් බං. ඒකා හැමදාම පාන්දරට නැගිටිනවා.
අවිශ්ක: ඉතිං උඹ ඇයි ඒකට අප්සට් එකේ ඉන්නෙ?
ටිංටිං: ඌ මටත් ඇහැරවනවා බං
අවිශ්ක: ඕක කියන්නද උඹ මෙහෙ ආවෙ?
ටිංටිං: ඌ මාත් එක්ක තරහ උනා බං. හෙට ඉඳන් මට හොඳට නිදාගන්න පුලුවන්
මම: ඒ මොකෝ බං ඌ එක පාරටම තරහ උනේ. ඌ උඹේ වීරයානෙ
ටිංටිං: මම අරයත් එක්ක චැට් කරකර හිටියා. මම වාඩි වෙලා හිටිය පුටුව මදුරුවගෙලු. මම ඒක ඌට දුන්නෙ නෑ කියලා ඌ මට ලොකු ලයින් එකක් දැම්මා.මම උගෙ කතාවක් අනිත් එවුන්ට කිව්වා.
මම: ඔය කොයි කතාවද?
ටිංටිං කියපු ඒ කතාව ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්කො.

කංකුං වගේද ගෝවා


අපේ අවිශ්කයාටත් පුදුම දොලදුක් හැදෙන්නෙ.ඌට මොනවා හරි දෙයක් ඕන උනොත් කොහෙහරි ඇවිදලා හොයාගෙන එනවා. මොනවා හරි වැඩක් පටන් ගනිද්දි එච්චර උනන්දුවක් තියෙන කොල්ලෙක් මේ පැත්ත පලාතක නැතුව ඇති. හැබැයි උගෙ උනන්දුව ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා.අන්තිමේදි ඌව උනන්දු කරවන්න නම් දහ දොලොස් දෙනෙක් එන්න ඕනෙ.
අද ඌට ප්‍රයිඩ් රයිස් කන්න ඕන වෙලා. මගෙන් අහනවා" මචං හුගක් කාලෙකින් ප්‍රයිඩ් රයිස් කෑවෙ නෑ නේද" කියලා.
මමත් ගත් කටටම හා කියලා කිව්වා.
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න අවිශ්කයා මාකට් යන්න ලෑස්ති වෙනවා.
"මම ගිහින් එන්නං" කියපු අවිශ්කයා අඩියට දෙකට යන්න ගියා.
පස්සෙ මෙන්න පොර රයිස් හදන්න බඩුත් අරං එනවා.
"මචං කංකුං තිබ්බෙ නෑ" මූ කියනවා.
"ඒ උනාට මම විකල්පයක් හොයාගත්තා" එහෙම කියපු අවිශ්කයා අතේ තිබ්බ ශොපින් එකෙන් ගෝවා ගෙඩියක් අරන් පෙන්නුවා.
අපි දෙන්නා මේක දාලා රයිස් හදන හැටි අහගන්නත් එක්ක ටිංටිංලගෙ බෝඩිම පැත්තෙ ගියා.
පබිලිස් කියන්නෙ හොඳ කෝකියනෙ. අපි ඉතිං උගෙන් ඇහුවා. ඌ කියනවා වෙනසකටත් එක්ක කියලා ඕක තම්බලා කෑලි වලට කපලා රයිස් එකට දාන්නලු.
ඒ අතරෙ ටිංටිනුයි ඇන්ටයි උයනවා. ඇන්ටා කියනවා ගෝවා ගෙඩිය කපලා තම්බන්නලු. මොකක් හරි කරලා රයිස් එක හදලා ගමු කියලා අපි ආපහු එන්න හදද්දි පබිලිස් අපට කතා කලා.
උන් වර්ල්ඩ් කප් මැච් එකක් බලන්න යන්නලු හිතන් හිටියෙ. ඒ උනාට ටිකට් ඉවරයි. පොඩි පොඩි ටීම් එක්ක ගහන මැච්වල ටිකට් විතරයි ඉතුරු.
මොනවා කරන්නද අපි ඒකක්වත් බලන්න යමු කියලා කියද්දි කොහෙදෝ ඉඳලා මදුරුවා කඩාපාත් උනා.
පබිලිස් මුලසිට සරලව කතාව උටත් කිව්වා.
ඌ කියනවා" අයියෝ ඕක මොකක්ද බං. අපි ඉන්දියාවෙ ගහන මැච් එකක් බලන්න යං. පීනලා යන්න බැරියැ" කියලා.
කංකුං වගේද ගෝවා.

Sunday, January 16, 2011

මදුරුවගෙ කතා -දෙවෙනි කොටස


මදුරුවා හැමෝටම විනෝදාස්වාදය සපයනවා කියලා දන්නවනෙ. ඒත් අපට තියෙන ප්‍රශ්නෙ තමයි සමහර ඒවා ඌ අපට ආතල් දෙන්න සිරාවටම කියන කතාද කියලා. ඒ තරමටම තාත්විකයි.සමහර වෙලාවට ඌ කියන කතා වලට අපි හිනා උනාම ඌත් හිනා වෙනවා. මේ පෝස්ට් එකට මදුරුවගෙ කතා - දෙවෙනි කොටස කියලා නම දැම්මෙ. උගෙ කතා මෙගා ටෙලි නාට්‍යයක් වගේ හින්දා.
වෙලාවට මදුරුවා ඉන්නෙ අල්ලපු වැටේ. අපේ බෝඩිමේ හිටියනං හෙම මටයි අවිශ්කයටයි වෙන්නෙ හැම තිස්සෙම හිනා වෙවී ඉන්න. ටිංටිං ඒ අතිං හොඳයි. ඌ කට පියාගෙන ඉන්නවා. ක්‍රියාවෙන් පප්පුට සමානයි.ඒ අතින් පප්පු තමයි ලොවෙත් ඩයල් එක. ඌ වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් විනෝදාස්වාදය සපයනවා.
ඔන්න දවසක් මදුරුවයි ටිංටිනුයි මුස්ලිම් ගෙදරක් ලඟින් තියෙන පාරක එනවලු. ඒ වෙලාවෙ ඒ ගෙදර වලියක් යනවලු. ගෑනියි මිනිහයි බැන ගන්නෙ සිංහලෙන්ලු.දැන් මදුරුවාට කට පියන් ඉන්න බැරිලු. ඌ ටිංටිංගෙන් අහනවලු "ඇයි මචං අර මිනිස්සු සිංහලෙන් බැනගන්නෙ. උන්ට මුස්ලිම් වලින් බැනගන්න තිබුනනෙ" කියලා.
ආයෙ තව දවසක ටිංටිංට බඩේ අමාරුවක් හැදිලා.උන් එදා ගෙනාපු කෑම අප්සට්ලු.ඊට පස්සෙ පබිලිස් මදුරුවගෙන් ඇහුවලු "මදුරුවා, උඹෙත් බඩ අවුල් ගියාද?"කියලා.
මදුරුවා කියනවලු "කොහෙවත් ගියෙ නෑ බං බඩ එතනමයි." කියලා.
එක දවසක් කොරියා ඇන්ටගෙන් ඇහුවලු "මචං ප්‍රස්තාව පිරුලක් කියපන්කො" කියලා.
මදුරුවා පැනපු ගමන් කිව්වලු "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක් " කියලා.

වාත පොරක්


මේ කතාව මදුරුවා ගැන. පොර පප්පු තරම් නැති උනත් ඉඳලා හිටලා උගෙ ජන්මගතිය පෙන්නනවා.
ඌ ඉන්නෙ ඇන්ටගෙ බෝඩිමේනෙ.දවසක් ඒ බෝඩිමට ඇන්ටගෙ යාලුවෙක් ඇවිත්. යාලුවා ඇන්ටට වෙන පොරක් ගැන කියනවලු.
"ඌ මහ වාත පොරක් බං" කියලා යාලුවා ඇන්ටට කිව්වලු.
මදුරුවට කට පියාගෙන ඉන්න බෑනෙ. ඌ අහනවලු "ඒ වාත පොරක් කියන්නෙ මොකෙක්ද බං? "කියලා.
 ආයෙ දවසක කොරියා රම්පෙ ගෙනල්ලා.රම්පෙ කොල අතරෙ සේර වගේකුත් තිබිලා. මදුරුවා සේර වල සුවඳ බලලා කියනවලු. "ඒ කොරියා උඹ මොනවද බං මේ ගෙනත් තියෙන රම්පෙ ජාතිය. බලපංකො ඒවගෙ හැටි" කියලා.
තව දවසක සෙට් එක කෑම කන්න ලෑස්ති උනාලු.අනිත් වැඩ වලදි මග ඇරියට මොකෝ මදුරුවා කන බොන වැඩ නම් ලේසියකට අත් අරින්නෙ නෑ. හැමදාම පලවෙනියට කන්න දුවගෙන එන මදුරුවාට එදා පොඩ්ඩක් පරක්කු වෙලා. ඉතුරු වෙලා තිබ්බ පිඟාන පොඩියි කියලා ඌ එලවලු උයන හට්ටියකට බත් බෙදාගෙන කාලා.

මදුරුවා ඉංග්‍රීසි කතා කරන්න ගියත් ඔය වගේමයි. දවසක් ටිංටිංට කියනවලු "මචං අයි සෝ අ ගෝස්ට් " කියලා.
ටිංටිනුත් කඩු කාරයානෙ පොරත් ඇහුවලු "වෙයා වෙයා" කියලා.
ඊට පස්සෙ මදුරුවා ටිංටිංව අඬගහගෙන බෝඩිමෙන් එලියට ඇවිත් ඈත ඉන්න එලුවෙක් පෙන්නලා කියනවලු "දැට් ඉස් ද ගෝස්ට්" කියලා.
"ඕ ඉට් ඉස් වෙරි නයිස් ගෝස්ට්" කියලා ටිංටිනුත් කිව්වලු.