Tuesday, May 1, 2012

කම්කරුවෙකුගේ මැයි දින පණිවුඩය.....




රටේ දේශපාලන පක්ෂ එක එක ආකාරයෙන් මැයි දිනය සමරද්දි දුප්පත් කම්කරුවෙක් කොහොමට මැයි දිනේ සමරනවද කියලා හිතුනා. මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවක් උනේ ලොකු ජෝන්ගෙ මෙන්න මේ ලිපියයි. ඒ ලිපිය කියෙව්වට පස්සෙ ඇතිවුන ශෝකයට ලියවුන කවි තමයි මේ.

වෙහෙසෙන තරම දන්නේ කරගැට පමණී
සොච්චම් පඩිය දැක මාගේ සිත පිරුණී
දින සති මාස හීනෙන් වාගේ ගෙවුණී
කම්කරු අපට නැවතත් මැයි දින ලැබුණී

 උදෑසනම මා නිවසෙන් පිටවෙනවා
බිරිඳට දරුවනට උදයෙම සමුදෙනවා
දෑත රිදෙන තුරු පාරේ වෙහෙසෙනවා
දහයට අසල ඇති කඩයක් වෙත යනවා

වඩයක් කකා බොන්නට මට තේ උගුරක්
හැකිනම් එයත් මගෙ කුසයට රස අහරක්
ආසයි ගිලින්නට බත් මුල වගෙ වෙහෙරක්
කහට එකත් දැන්නම් මට රස දහරක්

දහවල ගිනි අව්ව ඇයි මේ තරම් සුව
නොදනිමි  මහතුනේ මා කර තිබෙන පව
රත්වන විට තාර පාරේ සැරට තව
දන්නෙමි මිරිඟුවක් ඈතින් පෙනෙන බව

කාපට් පාර ඔබලට සුවසේ යන්න
දරනෙමි වෙහෙස හොඳහැටි සකසා දෙන්න
සුපවයිසර් පොඩ්ඩක් ඉවසා ඉන්න
දැන්නම් මටත් බඩගිනි දැනෙනව ඔන්න

පාන්දරින් නැගිටින මගෙ ප්‍රිය බිරිඳ
දුන් බත් මුලෙන් තාමත් නැගෙනවා සුවඳ
එහි ඇති දිව පිනායන මනරම් රසද
විඳින කලට සිහිවේ නුඹ මට සබඳ

දරුවන් ගැන සිතා සැමවිට වෙහෙසෙන්නේ
වයසට වඩා දැන් නම් වැහැරී ඉන්නේ
නුඹෙ ආදරය කවදත් නැත අඩුවෙන්නේ
නුඹ සිහිවෙද්දි කොහොමද ගින්දර බොන්නේ

බාධක ගොඩක් ආවත් ලොව හතර අතින්
මවුපියො නුඹට සලකයි රජෙකුටත් උසින්
සුන් කර නොදා අපෙ පැතුමන් නුඹේ අතින්
මගේ පුතේ නුඹ වෙනුවෙන් ඉගෙන ගනින්

ලොකු ලොකු අය මැයි දිනවල් සමරනවා
දුප්පත් කම්කරුවො සැමදා වේලෙනවා
චන්දය දාට අප හීනෙන් රජවෙනවා
අපෙ කර මතින් එතුමන් ඉහලට යනවා

අද සිට හිනැහෙනව මැයි මල් මනමාලී
පොහොසත් වෙන්නෙ හැමදාමත් මුදලාලී
ලොකු මහතුන් යනකොට මැයි පෙලපාලී
උරුම වෙන්නෙ අපහට නම් පිටලෑලී

26 comments:

  1. දුකම තුරුළු කරහත්ත කම් කරුව වෙනුවෙන් හඬක් නගන්න තිබ්බ එකම දවස අද....
    අද ඒකත් ලිප්ටන් වටරවුම ඇතුලු තැන් තැන් වල සිල්ලරට විකිණෙනවා

    ReplyDelete
    Replies
    1. කම්කරුවත් දේශපාලකයන්ගෙ වෙලඳ භාණ්ඩයක් වෙලා. ඒකයි දැන් තත්වෙ.

      Delete
  2. පාරවල් ගානේ රස්තියාදු ගහපු එවුන්බත් පැකට් එකට අරක්කු කාලට මැයි දිනේ සමරන කොට කම්කරුවා අදත් ජීවිත සටනේ
    දුකටම අවතාරුත් ලිව්වා http://nonimiahasa.blogspot.com/2012/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. අවතාර්ගෙ කතාව ඇත්ත. මැයි පෙලපාලිවල වැඩිපුර ඉන්නෙ බත් පැකට් එකටයි අරක්කු කාලටයි ආපු එවුන්.

      Delete
  3. හම්බෙන සොච්චම වුනත් අරක්කු මුදලාලිට පුදන අය ගැන නම් පව් කියන්න බැහැ.මැයි දිනේ නිසා එක දවසක පඩි නැති වීම ගැන හරි නම් දුක්වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හම්බ කරන සොච්චම කසිප්පු මුදලාලිට පුදන ඈයො ඕනෙ තරම් ඉන්නවා. බහුතරය කය වෙහෙසලා රැකියා කරන අය.ඒ මිනිස්සු ගොඩක් අය දවසෙ පඩියට වැඩකරන්නෙ. ඒ නිසා නිශාන් කියන කතාවට එකඟයි.

      Delete
  4. ඇත්ත.. කවුරු කොහොම සැමරුවත් සැබෑ කම්කරුවා මේ දවස සමරනවද කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. සැබෑ කම්කරුවගෙ දවසක පඩිය නම් නැති වෙනවා.....

      Delete
  5. මේ කවි ටික කියෙව්වම මට අපේ අප්පච්චිව මතක් උනා. උන්දත් කම්කරුවෙක්. අපි වෙනුවෙන් දිවා රෑ මහන්සි වෙච්ච කම්කරුවෙක්.

    කම්කරුවන්ට දිරිය ශක්තිය ලැබේවා කියලා පතනවා.

    "පොළොව කොටන තැන පාර තලන තැන දෙවියෝ වැඩ ඉන්නේ."

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ දූ දරුවන්ව ඉහලට යවන්න දෑතෙ මහන්සියෙන් වෙර දරන කම්කරුවන්ට දිරිය ශක්තිය ලැබේවා.......

      Delete
  6. මටත් කියන්න තියෙන්නේ මධුරංග සහෝගේ වාක්‍යයක් තමා...

    //"පොළොව කොටන තැන පාර තලන තැන දෙවියෝ වැඩ ඉන්නේ."//

    ලෝක කම්කරු දිනය කියලා කෑගැහුවට මොකද, වැඩ කරන ජනතාව මැයි පළමුවෙනිදාටත් වැඩ කරන්න ඕනේ... මේව්වා කාට කියන්නද මන්දා !!!

    කවි ටික අගෙය කිරිපුතා..! ජය !!!

    ReplyDelete
    Replies
    1. මේව ඉතින් කාට කියන්නද.....
      ලොකු අය කවුරුවත් අහන එකක් නෑ....

      Delete
  7. සෑමාගේ අවවාදය -

    පුවත්පතකට යැවුවොත් පලකරනු සිකුරුය.

    ජය !

    ReplyDelete
    Replies
    1. අනේ නිකං විහිලු නොකර ඉඳින් සෑමො......

      Delete
    2. හැකියාව එක්ක විහිලු කරන්න බැහැ බොල..

      ජය !

      Delete
    3. අනේ මන්ද බං.........

      ජය....!

      Delete
  8. අපෙ කම්කරුවො පිරිහෙන තව හෙතුවක් තමයි බීමත්කම...කම්කරුවන් ලබන වැටුප නැවත හූරා කන්න සුද්දො අටවපු උගුල ඒකයි..

    ReplyDelete
    Replies
    1. බීම හින්දා කම්කරුවො අකාලයෙ මැරිලා, පවුලෙ අනිත් අයත් තවත් අසරණ වෙනවා...

      Delete
  9. ලස්සන කවි. වික්ටර් රත්නායක මහත්තයගේ සිංදුවක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පේ සින්දුව........?

      Delete
  10. ගොඩක් කම්කරුවන්ට නිකම් කන්නයි බොන්නයිවත් හම්බෙන එකම දවස ඕක බං.. මම කියන්නේ පෙලපාලි වලට ගියහම....

    ReplyDelete
    Replies
    1. බත් පැකට් එකයි අරක්කු කාලකුයි නං හම්බවෙනවා....

      Delete
  11. නියමයි කිරිපුතේ. මසුරං කවිටික.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ.........

      Delete
  12. කම්කරුවගෙ ඇසකින් ලියවෙච්ච ලස්සන කවි ටිකක්.......

    ReplyDelete
    Replies
    1. කම්කරුවෙක්ට හිතෙන විදියට ඔන්න ඔහෙ ලියල දැම්මා.....

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.