රටේ දේශපාලන පක්ෂ එක එක ආකාරයෙන් මැයි දිනය සමරද්දි දුප්පත් කම්කරුවෙක් කොහොමට මැයි දිනේ සමරනවද කියලා හිතුනා. මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවක් උනේ ලොකු ජෝන්ගෙ
මෙන්න මේ ලිපියයි. ඒ ලිපිය කියෙව්වට පස්සෙ ඇතිවුන ශෝකයට ලියවුන කවි තමයි මේ.
වෙහෙසෙන තරම දන්නේ කරගැට පමණී
සොච්චම් පඩිය දැක මාගේ සිත පිරුණී
දින සති මාස හීනෙන් වාගේ ගෙවුණී
කම්කරු අපට නැවතත් මැයි දින ලැබුණී
උදෑසනම මා නිවසෙන් පිටවෙනවා
බිරිඳට දරුවනට උදයෙම සමුදෙනවා
දෑත රිදෙන තුරු පාරේ වෙහෙසෙනවා
දහයට අසල ඇති කඩයක් වෙත යනවා
වඩයක් කකා බොන්නට මට තේ උගුරක්
හැකිනම් එයත් මගෙ කුසයට රස අහරක්
ආසයි ගිලින්නට බත් මුල වගෙ වෙහෙරක්
කහට එකත් දැන්නම් මට රස දහරක්
දහවල ගිනි අව්ව ඇයි මේ තරම් සුව
නොදනිමි මහතුනේ මා කර තිබෙන පව
රත්වන විට තාර පාරේ සැරට තව
දන්නෙමි මිරිඟුවක් ඈතින් පෙනෙන බව
කාපට් පාර ඔබලට සුවසේ යන්න
දරනෙමි වෙහෙස හොඳහැටි සකසා දෙන්න
සුපවයිසර් පොඩ්ඩක් ඉවසා ඉන්න
දැන්නම් මටත් බඩගිනි දැනෙනව ඔන්න
පාන්දරින් නැගිටින මගෙ ප්‍රිය බිරිඳ
දුන් බත් මුලෙන් තාමත් නැගෙනවා සුවඳ
එහි ඇති දිව පිනායන මනරම් රසද
විඳින කලට සිහිවේ නුඹ මට සබඳ
දරුවන් ගැන සිතා සැමවිට වෙහෙසෙන්නේ
වයසට වඩා දැන් නම් වැහැරී ඉන්නේ
නුඹෙ ආදරය කවදත් නැත අඩුවෙන්නේ
නුඹ සිහිවෙද්දි කොහොමද ගින්දර බොන්නේ
බාධක ගොඩක් ආවත් ලොව හතර අතින්
මවුපියො නුඹට සලකයි රජෙකුටත් උසින්
සුන් කර නොදා අපෙ පැතුමන් නුඹේ අතින්
මගේ පුතේ නුඹ වෙනුවෙන් ඉගෙන ගනින්
ලොකු ලොකු අය මැයි දිනවල් සමරනවා
දුප්පත් කම්කරුවො සැමදා වේලෙනවා
චන්දය දාට අප හීනෙන් රජවෙනවා
අපෙ කර මතින් එතුමන් ඉහලට යනවා
අද සිට හිනැහෙනව මැයි මල් මනමාලී
පොහොසත් වෙන්නෙ හැමදාමත් මුදලාලී
ලොකු මහතුන් යනකොට මැයි පෙලපාලී
උරුම වෙන්නෙ අපහට නම් පිටලෑලී